මිනිස් දූවිලිවල වටිනාකම

මිනිස් දූවිලිවල වටිනාකම

පෙරේදා සවස ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් කඩා වැටී සිදු වූ විපත දැන් කවුරුත් දනිති. එනිසා මිය ගිය සත් දෙනාගේ හා තුවාල ලැබූ පිරිසගේ මතකය තව ටික දිනකින් සියල්ලන්ටම අමතක වන්නේය. ජීවිත අහිමි වීම තමන්ට පාඩුවක් මිසක් ජීවත් වන්නන්ට අබ මල් රේණුවක පාඩුවක් නොවේ. වෙළෙදපළ විසින් නිර්මාණය කර ඇති අවකාශයක මිනිස් ශරීර හුදු භාණ්ඩ පමණි. මිනිස් දූවිලිවලට වටිනාකමක් නැත.  

නගර නිර්මාණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව වර්තමානයේ සිටින්නේ නොදියුණු මට්ටමක ය. ඒ විෂයය සම්බන්ධයෙන් දියුණු දැනුම් පද්ධතියක් ඉතිහාසයේ තිබුණි. එහෙත් නාගරීකරණය හා ධනේෂ්වර සංවර්ධනය සීග්‍රයෙන් සිදු වීම නිසා නගර නිර්මාණය ක්‍රමවත් ව සිදු නොවුණි. උදාහරණයකට අප දන්නා නගරයක් සලකා බැලුවහොත් අවිධිමත් ව මාර්ග හා ගොඩනැගිලි ඉදි වූවා මිස ක්‍රමවත් සැලැස්මකට අනුව කිසිම නගරයක් ඉදි කර නැත. ඊට හේතු වී ඇත්තේ ආර්ථික දරිද්‍රතාවට වඩා දැනුමේ දරිද්‍රතාවකි.  

උදාහරණයකට මහනුවර නගරය සලකා බැලුවහොත්, පසුගිය විසි වසර තුළ නගර සංවර්ධනය වී ඇත්තේ අක්‍රමික ලෙස ගොඩනැගිලි ඉදි කිරීමෙනි. ඒ නිසා මහනුවර ජන ජීවිතයම සංකීර්ණ වී අවුල් ජාලාවක් බවට පත්ව තිබේ. ඒ අවුල් ජාලාව නිවැරැදි කරන්නේ කොයි කොනෙන් දැයි පවා තීරණය කිරීම අපහසු කරුණකි. එනිසා දිනෙන් දිනම තත්ත්වය බැරෑරුම් ව වර්ධනය වේ.  

බොහෝ විට ලංකාවේ සෑම නගරයක ම ඇත්තේ ඉතා පැරණි ගොඩනැගිලි ය. ඒවා තැනින් තැනින් කඩමින් අවශ්‍ය පරිදි පුළුල් කිරීම නිතර සිදු වේ. විශේෂයෙන් කොළඹ පිටකොටුවේ, ගෑස්පහ හන්දියේ, කොම්පඤ්ඤ වීදියේ, ආමර් වීදියේ, ග්‍රෑන්ඩ්පාස් හා වෙනත් තදාසන්න ප්‍රදේශයන්හි ඉතා පැරණි ගොඩනැගිලි තිබීම භයානක තත්ත්වයකි. මේවා ක්ෂණික ව කඩා ඉවත් කිරීම පමණක් නොව අලුතින් ඉදි කිරීම ද ආර්ථික ගැටලුවකි.  

එහෙත් රටක් ලෙස මේ පැරණි ගොඩනැගිලි සමඟ ඉදිරියට යන්නට හැකි දැයි ප්‍රශ්නයක් තිබේ. විශේෂයෙන් කොළඹ මෙට්රෝපොලිටනයේ නගර නිර්මාණය ක්‍රමවත් කර ගැනීම අත්‍යවශ්‍ය කරුණකි. එසේ නොමැති වුවහොත් කොළඹ නගරයේ පැරණි ගොඩනැගිලිවල හාවුන්ගේ ගුල් වැනි අපිරිසුදු, මිනිස් වාසයට නොසුදුසු තැන් ජනාවාසකරණය වීමත් සමඟ ජන ජීවිතය තල්ලු වන්නේ විනාශයකටය.  

නගර නිර්මාණයේ දී මේ සියල්ලට සැලසුමක් තිබිය යුතුය. කොළඹ නගරයේ කල් ඉකුත් ඉකුත් වූ ගොඩනැගිලි වහා කඩා ඉවත් කළ යුතුය; ඒ සදහා නීති නොමැති නම් නීති සම්පාදනය කළ යුතුය; එසේම අනවසර ඉදි කිරීම් නවතා සැලසුමකට අනුව නගරය සංවර්ධනය කිරීම ආරම්භ කළ යුතුය.  

ධනේශ්වර සංවර්ධනයත් සමඟ මිනිස් ජීවිතයට ලැබෙන වටිනාකම අහෝසි වේ. එවිට වෙළෙදපළ තර්කනය ශක්තිමත් ව තබා ගැනීම ප්‍රමුඛ වේ. එහෙත් සියල්ල කරන්නේ ජීවත්වීම සදහාය. මනුෂ්‍ය ජීවිතයක වටිනාකම අවතක්සේරු කරන්නේ නම් සංවර්ධනය යන්න මිත්‍යාවකි. වෙළෙදපළ ප්‍රවර්ධනය විය යුතුය; ගනුදෙනු සිදු විය යුතුය. එහෙත් පරිසරය නිර්මාණය කර ගත යුත්තේ මිනිස් ජීවිතයට සුවපහසු වන පරිදිය.  

සංවර්ධනය ආර්ථික විශේෂඥයන් සමඟ පමණක් කෙරෙන ගනුදෙනුවක් නොවේ. ඊට සියලු පාර්ශ්වයන් සම්බන්ධ විය යුතුය. ආර්ථික සංවර්ධනය මෙන්ම භෞතික සංවර්ධනය ද ඒ හා සමගාමී ව සංස්කෘතික සංවර්ධනය ද ඇති විය යුතුය. මේ අන්දමින් සංවර්ධනය යන්න පුළුල් අර්ථයෙන් විය යුත්තකි.  

නමුත් තවමත් අප සමාජයක් ලෙස මුහුණ දෙන අබග්ගය වී ඇත්තේ අපේ එදිනෙදා පරිසරය හෝ මිනිස් වාසයට ගැළපෙන පරිදි සකස් කර ගැනීමට නොහැකි වීමයි. පැරණි ගොඩනැගිලි බිම ඇද වැටී මිනිසුන් අමු අමුවේ මිය යන්නේ නම් විශාල විස්තෘත සංවර්ධනයක් ගැන කතා කිරීම විහිළුවකි. එනිසා පළමුව කළ යුත්තේ මූලික තත්ත්ව පාලනයකින් යුතුව නගර ආශ්‍රිත ගොඩනැගිලි කළමනාකරණය කිරීමයි. එමෙන්ම නගර සැලසුමක් අනුව සංවර්ධන කටයුතු තීරණය කිරීමයි.

මාතෘකා

 
 
 
රටේ අපරාධ රැල්ල අඩු කිරීමට කළ යුත්තේ ?