බරපතළ දේශපාලන ප්‍රතිසංස්කරණ අවශ්‍යව තිබේ

බරපතළ දේශපාලන ප්‍රතිසංස්කරණ අවශ්‍යව තිබේ

පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල පිළිබඳව කථා කිරීමේදී ඇතැමුන් තර්ක කරනුයේ මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාර්ශ්වය විශිෂ්ට ජයක් ලබා ඇති බවය. එය කෙතරම් සාධාරණ ප්‍රකාශයක්ද? රාජපක්‍ෂ දේශපාලන ව්‍යාපෘතිය පළාත් පාලන මැතිවරණයේ වලංගු මුළු ඡන්ද සංඛ්‍යාවෙන් ලබාගෙන ඇත්තේ සියයට 44.65 ක ඡන්ද ප්‍රමාණයකි. එය 2015 ජනාධිපතිවරණයේදී මහින්ද රජපක්‍ෂ ලබාගත් ඡන්ද ප්‍රතිශතයට වඩා සියයට 3 ක අඩු වීමකි.

ඊට සාපේක්‍ෂව මෙම මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂයත්, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයත් ලබාගත් මුළු ඡන්ද ප්‍රතිශතය සියයට 47.94 කි. එය පසුගිය ජනාධිපතිවරණයේදී පොදු අපේක්‍ෂකයා ලබාගත් මුළු ඡන්ද ප්‍රතිශතයට වඩා සියයට 3ක අඩුවීමකි. දෙපාර්ශ්වයේම ඡන්ද පදනම සෙලවී තිබුණද තවමත් යහපාලන දේශපාලන ව්‍යාපෘතිය එහි මූලික කෝෂාර්ථයන්ට පටහැනිව ගමන් කරමින් එහි කූටප්‍රාප්තිය ලෙස වෙන වෙනම තරග කළ විට රාජපක්‍ෂ දේශපාලන ව්‍යාපෘතිය ඉදිරියේ පරාජයක් ලබයි. ඒ පරාජය මගින් ප්‍රකාශ වනුයේ “අපි අපේම ආණ්ඩුවක් හදනවා”  යැයි දෙපාර්ශ්වයන්ට මතු වූ උද්දච්ඡ දේශපාලන මතය සමාජය විසින් ප්‍රතික්‍ෂේප කර ඇති බවය.

යහපාලන දේශපාලන ව්‍යාපෘතිය තුළ ප්‍රධාන වශයෙන්ම රාජපක්‍ෂ පාලනයේ නන්විධ බරපතළ වැරදිවලට දඬුවම් කිරීම, ජාතික ප්‍රශ්න විසඳීමට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම සහ නීතිය හා යහපාලනය ශක්තිමක් කිරීම ඇතුළත්ව තිබුණි. එසේම පුරවැසියාට ආර්ථික බාධාවන්ගෙන් තොරව ජීවත්වීමට හැකි වන සේ පරිසරය සකස් කිරීමද එහි ප්‍රධාන අංගයක් වි තිබිණි.

එහෙත් යහපාලන ආණ්ඩුව බලයට පැමිණ සිදු කළේ ඒ එක එකක් පොරොන්දු තමන් විසින්ම කඩ කිරීමය. නැතහොත් මඟහැරීමය. අවම තරමින් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් සිදු කර තමුන්ට ඡන්දය දුන් දෙමළ ජනතාවට ආත්ම ගෞරවයක් ඇතිව ජීවත්වීමට හෝ ඉඩකඩ සකස් නොකළේය. එසේ නොකර සිටියා පමණක් නොව ඒවා සාධාරණීකරණය කිරීමට කෙස්පැලෙන තර්කද ඉදිරිපත් කළේය. ජනතාව බලා සිටියේ මීට එරෙහිව ප්‍රතිචාර දැක්වීමට අවස්ථාවක් ලැබෙන තෙක්ය. මැතිවරණයෙන් මේ රටේ ඡන්දදායකයන් යහපත් පණිවුඩයක් ලබාදී ඇත. එනම් මහජන අභිලාශයන් පාවාදෙමින් 2015 මහජන ව්‍යාපාරයට පස්සා හැරවුවහොත් තවදුරටත් මහජන ආරක්‍ෂාව නොලැබෙන බවය. ඔවුන් රාජපක්‍ෂ වටා එක්රොක් නොවුණත් වත්මන් ආණ්ඩුවත් ආණ්ඩුවේ බලවේග ආරක්‍ෂා කිරීමට තවදුරටත් පෙරට නොඑන බවට ලබාදී ඇති පණිවුඩය එක් අතකින් ගෞරවනීය වේ.

යහපාලනය සඳහා වූ මහජන අභිලාශයන් ගණනකට නොගැනීමට එරෙහිව හොඳ පාඩමක් මහජනයා විසින් උගන්වා තිබේ. එහිදී ඔවුන්ගේ ගෞරවනීය හැසිරීම වන්නේ විකල්පය ලෙස රාජපක්‍ෂ දේශපාලන ව්‍යාපෘතිය තෝරා නොගැනීමය. ඒ ව්‍යාපෘතියට භාවිත කළ වලංගු මුළු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 50 ක් ලැබී නැත. එයින් පෙනෙනුයේ 2015 ජනාධිපතිවරණය වටා සිටි ප්‍රගතිශීලි බලවේගයන් තවමත් ශක්තිමත් බවය.

මේ දේශපාලන ව්‍යාපෘතිය ශක්තිමත්ව ආමන්ත්‍රණය කළ හැකි බරපතළ දේශපාලන ප්‍රතිසංස්කරණ අද අවශ්‍යව තිබේ. ඒ සඳහා යහපාලන දේශපාලන ව්‍යාපෘතිය වෙනුවෙන් පෙනී සිටිින දේශපාලන ව්‍යාපාරය පෙරටත් වඩා ශක්තිමත්ව නැගී සිටිිය යුතුය.

මාතෘකා