ප්‍රශංසනීය මැදිහත්වීමක්

ප්‍රශංසනීය මැදිහත්වීමක්

රටක ආණ්ඩු පෙරළීම උදෙසා ජන අරගල ඇරැඹෙන්නේ තීරණාත්මක කරුණු මුල්කොට ගෙනය. එනයින් ගත් කල මෙරට ආණ්ඩු පෙරළීම සහ බිහිවීම අරභයා වූ ඉතිහාසය පිරික්සීමේදී අපට විවිධ හේතු සොයාගත හැකිය. හාල් සේරුව වෙනුවෙනුත්, පාන් ගෙඩිය වෙනුවෙනුත්, ආහාර මුද්දරය වෙනුවෙනුත් ආණ්ඩු පෙරළුෑ සහ බිහි වූ ඉතිහාස කතා එහිදී සොයාගත හැකි අතර රටක මහජනයා තුළ පවත්නා දේශපාලන විඥානයේ පරිධිය ඉන් අනුමාන කළ හැකිය.

හුදෙක් බඩ ගැන සිතීම වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදය, මානව නිදහස, යහ පැවැත්ම උදෙසා වූ ජන අරගලයක සාරගර්හ ප්‍රතිපලය 'යහපාලන ආණ්ඩුව' බිහිවීමය. පොරොන්දු ප්‍රකාරව, රටේ යහ පැවැත්ම තහවුරු කොට ප්‍රශස්ත දේශයක් ගොඩනැඟීම එවක අතිශය භාරදූර අසීරු කාර්යයක් විණි. එමතු නොව ප්‍රජාතන්ත්‍රවාදය සහ යහ පැවැත්ම සමාජයේ ස්ථාපිත කිරීම බලවත් අසීරු අභියෝගයක් විණි. ඒකාධිපති වියරුවක් මහ දවල් කෙලෙසූ රටක් බවට මෙබිම පත්ව තිබිණි. මහ උන් හොරකම් කරමින් තමන්ගේ හෙංචයියන්ටත් ‘පුළු පුළුවන් විදිහට හොරකම් කරපියවු‘ කියමින් කළ ගෝත්‍රික පාලන රටාවකට තිත තබා නවමු පාලනයක් බිහි කිරීමම විස්මයාවහ සිදුවීමක් විය.

හැට දෙලක්ෂයක් ජනතාව එක පෙළට සිට ගත්තේ ඒ උදෙසාය. එකී හැට දෙලක්ෂයට ජානතාව ණය ගැති වන්නේ, පාපතර දුර්දාන්ත ගමනක් වෙනස් කිරීමේ ගාමක බලය වෙනස් කිරීමට ඔවුන්ගේ පරමාධිපත්‍ය බලය කේන්ද්‍රිය ව පාවිච්චි කළ නිසාය.

70 වන නිදහස් සමරුව නිමිත්තෙන් ජනාධිපතිවරයා කළ කතාව හුදෙක් නිදහස් දිනයක රාජ්‍ය නායකයෙක් සාමාන්‍යයෙන් සිදු කරන අතීත පුරාජේරුවකට එහා ගිය අනාගතකාමී කතාවක් විය. ඉතිහාසයේ ශ්‍රී විභූතියෙන් ජාතිය මන්මත් කරනු වෙනුවට ජනාධිපතිවරයා සිහි කැඳවූයේ ජනවාරි 8 විප්ලවයේ ජනතා අපේක්ෂාවය.

'මේ මව්බිම මත ආර්ථීක නිදහස ගොඩනැඟෙමින් තිබෙන විට ඒ ආර්ථීක නිදහසට එරෙහිව දූෂණය, අල්ලස, හොරකම නාස්තිය අප විසින් පිටුදැකිය යුතුය. හොරකම, දූෂණය, අල්ලස අපේ ජාතියේ අනාගතය තීරණය වීම කෙරෙහි දැඩි ලෙස බලපා තිබේ. රටේ උගතුන්, බුද්ධිමතුන්, බහුශ්‍රැතයන් මෙන්ම විවිධ ක්ෂේත්‍රවල විද්වතුන්ගෙන් සහ ප්‍රවීණයන්ගෙන් සැදුම්ලත් සාමූහික ප්‍රයත්නයක් තුළ අප සියලුදෙනා වගකීම් ඉටු කළ යුතුය' යනුවෙන් ජාතියට සිහිපත් කළේය.

ඔහු සිහි කැඳවූයේ සාධාරණ සමාජයක් උදෙසා පෙළ ගැසුණු ජනතාවගේ සිහිනය ගැනය. යුගයක් පුරා රටක් ආපස්සට ගෙන යමින් පවුලක් සහ කල්ලියක් ඇල්ලූ ජල්ලිය නිමා කළා සේම එකී විගඩම් කාලයේ ජාතියට අහිමි කළ කෝටි ප්‍රකෝටි ධනස්කන්ධයේ චූදිතයන්ට දඬුවම් පැමිණවීමද කළ යුතු ම කාර්යයකි.

කවුරුන් වැරදි කළත් වරද වරදමය. ඒ උදෙසා මේ ආණ්ඩුවේ පෙනී සිටීම ගරු කටයුතුය.

2011 වසරේ ඉන්දියාවේ එක්තරා කෙසඟ පුද්ගලයෙක් දූෂණයට එරෙහිව මහා උපවාසයක් ආරම්භ කළේය. දින කිහිපයක් යන විට එකී උපවාසකරු ශ්‍රී ලංකාවට වඩා හැට ගුණයක් විශාල ඉන්දියාවේ හැම අස්සක් මුල්ලක් නෑරම කතාබහට ලක්වූ පුද්ගලයෙකු බවට පත් විය. හෙතෙම 'අන්නා හසාරේය.' ගාන්ධිවාදී අවිහිංසාවාදය සටන් ක්‍රමය බවට පත් කොටගෙන සිටින හසාරේ එහි උච්චතම පියවර ලෙස උපවාසය තෝරා ගනී. අද වනවිට ඉන්දියාව 'බරපතළ'වෙනසකට හැරවීමේ නියමුවෙක් වන්නේ හසාරේය.

වංචා මගින් උපයන ලද ඩොලර් බිලියන 1,456ක් ඉන්දීය දේශපාලනඥයන් සහ ධනපතියන් විසින් ස්විස් බැංකුවල තැන්පත් කර ඇතැයි යන්න ඉන්දීය විශ්ලේෂකයෝ විශ්වාස කරති. ඒවා ජනතාවගේ මුදල්ය. තක්කඩි පැවත්ම සහ සොරකම වෘත්තිය කොටගත් දේශපාලකයන් කොහෙත් සිටී. හසාරේලා කැරලි ගසන්නේ ඔවුන්ට එරෙහි ව ය.

මේ එළැඹ තිබෙන්නේ අපේ රට තුළත් එවැනි විප්ලවීය අරගලයක් සිදු කළ යුතු මොහොතය. ඒ උදෙසා ජනාධිපතිවරයාගේ මැදිහත් වීම ප්‍රශස්ත ය; කාලෝචිතය. තවත් මුරවෙඩි 24ක් තබා උත්තමාචාර දැක්විය යුතු වැඩක්ය.

මාතෘකා