ජාතිවාදී කුණු නැවත නැවත සෝදා හරිමු

ජාතිවාදී කුණු නැවත නැවත සෝදා හරිමු

"ජාතිවාදය යනු මිනිසෙකු විසින් තවත් මිනිසෙකු වෙත එල්ල කරන බරපතළම තර්ජනයයි. ඇත්තෙන්ම එය නොසැලකිය හැකි තරම් කුඩා හේතුවක් සඳහා වූ අප්‍රමාණ වෛරයකි."

යනුවෙන් ඒබ්‍රහම්. ජේ. හෙසල් කියා තිබෙන්නේ සත්‍යයකි.

මාවනැල්ල සහ මහනුවර ප්‍රදේශය ආශ්‍රිතව පසුගිය දින කිහිපය තුළ බුදු පිළිමවලට හානි කිරීමේ සිදුවීම් කිහිපයක් වාර්තා විණි. ඇතැමුන් එකී සිදුවීම් පණ පිහිටුවා වාර්තා කළ අතර තවත් සමහරු ඒවාට පියාපත් දුන්හ.

එහෙත් වගකීම් සහගත පුරවැසියන් මෙයින් කලබල නොවීම රටේ වාසනාවකි.

ශ්‍රී ලංකාව බහු වාර්ගික සහ බහු ආගමික රටකි. වඩාත් සිත්ගන්නාසුලු බැඳීමක් ඒ සියලු ප්‍රජාව අතර පැවැති ඉතිහාසයක් අප සතු වෙයි. එහෙත් විවිධ අවස්ථාවල අවස්ථාවාදීන්ගේ උවමනාවන් හේතුකොටගෙන එකී ප්‍රජාව විරසක වූ අවස්ථාද කොතෙකුත් වෙයි.

'ආඩම්බර විය හැකි කිසිවක් නැති සෑම කාලකන්නි මෝඩයෙකුම අවසාන තුරුම්පුව ලෙස තමන් අයත් වන ජාතියේ ආඩම්බරය යොදා ගනියි. ඒ ජාතියේ සියලු වැරදි සහ මෝඩකම් වෙනුවෙන් සිය සකල ශක්තියෙන් පෙනී සිටීමට ඔහු සතුටින් සූදානම්ය. එහෙත් ඔහුට ඒ වෙනුවෙන් පෙරළා ලැබෙන්නේ තමන්වම පහතට පිරිහෙළනු ලැබීම පමණි' යනුවෙන් ආතර් ෂොපෙන්හොර් පවසා තිබෙන කතාව සදාකාලික ඇත්තකි.

එකිනෙකා අතර 'ජාතිභේදය, ආගම්භේදය' වපුරවා සමාජය එක්ක සෙල්ලම් කිරීමේ නොහොබිනා ක්‍රියාව මෙරට දේශපාලන කල්ලි කලක සිට කරන්නකි. එකී සෙල්ලමෙහි ශේෂ සටහන්ව ඉතිරිව තිබෙන්නේ 'තිරස්චීන මතක' එකතුවකි.

ජාතිවාදී කෝලාහල කිහිපයක කටුක අත්දැකීම් මෙරට ජනතාව භුක්ති විනේෙද් එකී මජර දේශපාලන කල්ලිවල උපක්‍රම හේතුවෙනි.

පුරා දශක ගණනාවක් මුළුල්ලේ උතුර සහ දකුණ ලෙස බෙදී අපි යුද්ධයක පැටලී සිටියෙමු. ජයග්‍රහණය උදෙසා යුද්ධ කළෙමු. එහිදී ගලා ගිය රුධිරය හා ඒ සමඟ ඇද වැටුණු කඳුළු, ප්‍රාමාණිකව මෙතෙකැයි කියා කිව නොහැකිය.

දරගා නගරයේ සිදුවීම, මහනුවර දිගන සිදුවීම වැනි 'කළු' සිදුවීම් මෑතකාලීනව හමුවන්නේ රටක අභිමානය ගෝත්‍රිකත්වය වෙතට තල්ලු කරමිනි.

ඔබ සිංහල කියා කියන්නේ කෙසේද? ඔබ දෙමළ විය නොහැකිද? ඔබ මුස්ලිම් කියා කියන්නේ කෙසේද? ඔබ සිංහල විය නොහැකිද? උපතේදී අම්මලා - තාත්තලා කියපු නිසා, සහතිකවලට දාපු නිසා ඔබ සිංහල හෝ දෙමළ වී තිබේ. ඒත් ඒ අම්මලා -තාත්තලාත් ඔවුන් සිංහල හෝ දෙමළ වූයේ කෙසේද කියා දන්නේ නැත. ඔවුන්ගේ අම්මලා - අප්පලාත් මේවා කොහෙන් ආවාද කියා දන්නේ නැත. ඒ කියන්නේ ඇත්තට නැති හදාගත් දෙයක් වෙනුවෙන් මරාගෙන මැරෙන්නට හදන්නේය. මේ පිස්සුව හිතාගන්නට බැරි තරම් දරුණුය. මේ උන්මත්තකයන්ට එරෙහිව උපරිම පියවර ගත යුතුය.

ඕනෑම කෙනෙකුට තමන්ට රිසි ආගමක් දහමක් අදහන්නට අයිතියක් තිබේ. එය අනෙකා තුළ බලෙන් පැටවීමට අයිතියක් ඔහුට නැති බව වටහා ගත යුතුය.

මේ මොහොතේ 'මාවැනැල්ල ආශ්‍රිත' සිදුවීම් කෙරෙහි මිනිස් ප්‍රජාව තුළ පවත්නා ඉවසීමට සහ ශිෂ්ට පැවැත්මට මල් මිටක් තැබිය යුතුය.

"කිසියම් ජාතියක් පීඩනයට පත් කරන තවත් ජාතියක් තමන්ට බැඳි විලංගු තවත් ශක්තිමත් කරයි" යනුවෙන් කාල් මාක්ස් පවසා තිබේ.

එකී අත්දැකීම්වල 'කටුක' රස දන්නා පුරවැසියා මේ වනවිට දේශපාලන සහ අන්තවාදී කල්ලිවලට වඩා සමාජානුයෝජනයක් ලබා සිටී. තැනින් තැන විටින් විට ඇති වූ 'ජාතිවාදී ගිනිදැල්'වල නිමැවුම්කාරකයෝ කවුදැයි පුරවැසියා දනී. එකී ගිනිදැල්වලට දහන අඩුවැඩිය සපයන්නෝ කවුදැයි පුරවැසියා දනී.

එනිසා එදාට වඩා මෙදා ජනතාව දැනුම්වත්ය.

අවසන් වශයෙන් අප කියන්නේ 'කෑමට පෙර අත් සෝදන්නා සේම' ජාතිවාදයද සෝදාහැරිය යුතු බවය.

මාතෘකා