චින්තන විප්ලවයක්

චින්තන විප්ලවයක්

අපි අහසේ පියාසර කරන්නට ඉගෙන තිබෙනවා, මුහුදේ පිහිනන්නට ඉගෙන තිබෙනවා, ඒත් අප සහෝදරයන් ලෙස එකට ජීවත් වීම කියන සරල දේ ඉගෙනගෙන නැහැ” යනුවෙන් පවසන්නේ මාර්ටින් ලූතර් කිං ය.

දිනෙන් දින මොහොතින් මොහොත මේ ප්‍රකාශය සත්‍ය බව පසක් වෙයි.

උතුරෙන් වෙඩි බෙහෙත් දුගඳ පහව ගිය නමුත් තවමත් තැන තැන වෙඩි පත්තු වෙයි.

ඒ බොහොමයක් පාතාල ක්‍රියාකාරකම්ය.

සමාජයක සන්සුන් පැවැත්ම සුන්නද්ධූලි කරන්නට පාතාලයට හැකියාව පවතී. ප්‍රජාතන්ත්‍රවාදය, ශිෂ්ටත්වය, මානව අයිතිවාසිකම් යනාදී කිසිවක් පිළිබඳව තැකීමක් පාතාලයට නැත.

'ආගම වෙනුවෙන් කතා කරන සටන් කරන මිනිසුන් නොකරන ප්‍රධානම දේ ඒ අනුව ජීවත් වීමය' යනුවෙන් කියන්නේ චාල්ස් කොල්ටන්ය. මේ කතාව මොනතරම් සත්‍යයද?

මෙරට දේශපාලනඥයන්ගෙන් බහුතරය ගැන කතා කරන්නට දෙයක් නැත. ස්වකීය අශිෂ්ට හැසිරීම සහ ඇවතුම් පැවැතුම් ගැන මෙරට දේශපාලනඥයෝ බොහෝ අවස්ථාවල සාක්ෂි, සාධක සපයති.

මෙරට පුරවැසි ජනතාව ඇතැම් දේශපාලනඥයන්ට වඩා ඉදිරියෙන් සිටින බවට සාක්ෂි ඕනෑතරම් සොයා ගත හැකිය. ඔවුන් තීරණාත්මක මැතිවරණවලදී ගත් දේශපාලනික තීන්දු ඊට දෙස් දෙයි.

යුද්ධය නිමා වුවද තවමත් එය උජාරුවෙන් සමරන්නෝ සිටිති. 'උතුරේ මිනිස්සු' කියා සහ 'දකුණේ' මිනිස්සු කියා වෙන් කරන ස්වභාවය තවමත් තිබේ.

රටේ ස්ථාවර සහ ශිෂ්ට සම්පන්න පැවැත්ම වෙනුවෙන් 'දේශපාලන සහ ව්‍යවස්ථාමය තීන්දු ගැනීම සම්බන්ධව තවමත් අපි ප්‍රාථමික රාමුවක කොටුවී සිටිමු.

යුද වීරයන් වෙනුවට අද රටට අවශ්‍යව ඇත්තේ සාම වීරයන්ය.

එහෙත් හුදු ජනප්‍රියවාදී සහ ගෝත්‍රිකවාදී ආකල්ප නඩත්තු කරන 'මජර ඔළුගෙඩි' තවමත් තිබේ.

නූතනවාදී ප්‍රතිසංවිධානයක් කරා යන ගමනේදී මේ සියල්ල ආමන්ත්‍රණය කිරීමට සිදුවන බව මතක තියා ගැනීම වැදගත්ය. සැබවින්ම එවැනි කටයුත්තක් සඳහා වන අභියෝගය සුළුපටු එකක් නොවේ. එය අතිදුෂ්කර උඩුගං බලා පිහිනීමකි. නමුත් රටේ මතුපැවැත්ම වෙනුවෙන් එය සිදුකළ යුතුය. ළඟ බැලුවෝතින් අනාගතයක් නොමැත. එබැවින් දුර බැලිය යුතුය. ලෝකයේ සෙසු රටවල් හෙට ගැන බලද්දී හෙට කියා ඊයේ දෙස බැලුවහොත් අත්වන ප්‍රතිඵලයක් නොමැත.

දේශපාලන විසඳුම් යෝජනා ප්‍රායෝගික ලෝකය තුළ ඇත්තක් නොවීම සම්බන්ධයෙන් පටු දේශපාලන අවස්ථාවාදය මෙන්ම ජාතිවාදයේ බලපෑමද එක සමාන භූමිකා නිරූපණය කළේය. මූලිකවම ගත් විට සිංහල සමාජය තුළ දේශපාලන ප්‍රතිසංස්කරණ පිළිබඳ ඇත්තේ අනියත බියකි. ඒ සමඟ “සිංහලයාගේ අවසානය” ගැට ගැසී ඇති බවට තදින් මුල් බැසගත් අදහසක් සමාජය තුළ තහවුරු වී තිබේ. කිසිදු සත්‍යතාවකින් තොර මේ මහා බේගලය පොහොර දමා පෝෂණය කළේ සිංහල ස්වොත්තමවාදින්ය. අන්තවාදීහු එය තම පැවැත්ම වෙනුවෙන් අලෙවි කළහ.

එයින්ම රට මානසිකව වෙන්ව ගියේය.

මඩ වගුරක් සහ කුලීකරුවන්ගේ දේශයක් ලෙස හැඳින්වූ සිංගප්පූරුව අද කොහොමද? මුඩුක්කු සංස්කෘතියක්ව පැවති දකුණු කොරියාව අද කොතැනද?

මේ සියල්ලට ඉදිරියෙන් තිබූ ශ්‍රී ලංකාව අද කොතැනද?

ජාතික වැඩපිළිවෙළක් වෙනුවට 'එදා වේල' ගමනක් තුළ අනාගතයක් ගැන සිහින දැකිය හැකිද?

ආර්ථික විප්ලවයක් රටට අවැසි බව සහතික ඇත්තය. එහෙත් ඊට වඩා චින්තනමය විප්ලවයක් අවැසිය. ජාත්‍යන්තරය ඉදිරියේ එකට හිටගන්නට හැකි අභිමානයක් හට ගන්නේ එවිටය. තවදුරටත් 'ස්වාසිලන්තය, උගන්ඩාව, ලිබියාව' වැනි රටවල්වල සෙවණැල්ල යට ගොඩනැඟෙන්නට සිහිනයක් හෝ දකිනවා නම් රටට දෙවියන්ගේම පිහිටය.

අප සියලු දෙනා සිහින දකිනුයේ සංහිඳියාවෙන් පිරුණු රටක් පිළිබඳවය. ව්‍යවස්ථාවක් ගෙන ඒම යනු සංහිඳියාවේ කොටසක් මිස අන් යමක් නොවේ.

අපි නැවත මාර්ටිං ලූතර් කිංගේ ප්‍රකාශය උපුටා දක්වමු.

“අපි අහසේ පියාසර කරන්නට ඉගෙන තිබෙනවා, අප මුහුදේ පිහිනන්නට ඉගෙන තිබෙනවා, ඒත් අප සහෝදරයන් ලෙස එකට ජීවත්වීම කියන සරල දේ ඉගෙනගෙන නැහැ.”

මාතෘකා