අප්‍රසන්න කතාවක්

අප්‍රසන්න කතාවක්

අන්ධානුකරණයෙන් වන්දනාමාන කිරීම අපේ දේශපාලන සංස්කෘතිය තුළ තදින් මුල් බැස ගෙන ඇති කැත පුරුද්දකි. තමන්ගේ දේශපාලන නායකයා කුමන වැරැද්ද කළද ඒවා නොපිළිගන්නා කොට්ඨාසයක් අප වැනි තුන් වැනි ලෝකයේ රටවල දේශපාලනය තුළ දැකගත හැකිය. ශ්‍රී ලංකාවට අදාළව ගත් විට එය නිල්, කොළ, රතු භේදයකින් තොරව නොඅඩුව දැකගත හැකිය.

එකී වන්දනාමාන ලබන පන්නයේ දේශපාලනඥයින් තම කුමන වරද කළද සිය අනුගාමිකයින් ඒ ගැන තැකීමක් නොකරන බව දනී. එයින්ම උද්දාමයට පත්ව ඕනෑම තුච්ඡ වැඩක් කරයි.

මේ රටේ දේශපාලනය සම්බන්ධව ප්‍රබුද්ධ කොටස් අතර පවත්නේ අතිශය 'අවඥා' සහගත ආකල්පයකි. සාමාන්‍ය ජනතාව තුළ පවා එවන් 'අප්‍රසන්න හැඟීමක්' නැත්තේ නොවේ.

එහෙත්, යාවජීව වශයෙන් දේශපාලනයේ 'රැස්'වලින් නඩත්තු වන පිරිසකගේ ක්‍රියාවලිය හේතුවෙන් සාමාන්‍ය පුරවැසියාටද අකමැත්තෙන් වුව දේශපාලනය සමඟ මුහුවන්නට සිදුව තිබේ.

මහජන මුදල් අවභාවිත කිරීම සම්බන්ධව මෙරට බොහෝ දේශපාලනඥයින්ට චෝදනා එල්ල වී තිබේ. බොහෝ චෝදනා හුදු ප්‍රලාප නොවන බව ඔවුන්ම දනී. එහෙත් අවාසනාව වන්නේ ඔවුන් යළි යළිත් ජනතාවගේ මනාපයෙන් තේරී පත්වීමය. අප නිරන්තරයෙන් කතා කරන්නේ ශිෂ්ට සම්පන්න රටක් පිළිබඳවය. දූෂණයෙන් තොර නායකයින් පත්කරමු යැයි නිරන්තර දේශනා තැබුවද සිදුවන්නේ අනෙකකි.

සෑම දිස්ත්‍රික්කයකම පාහේ ඉහළ මනාප හිමිවන්නේ මුදල් විසි කරන, තගරි චරිතවලටය. ඒ තරමටම දේශපාලනය 'මජර' වී තිබේ.

දූෂණ චෝදනා එල්ල වූ කිසිම දේශපාලනඥයෙක්ට මෙරට මැතිවරණ ඉතිහාසයේ පරාජය වී ඇත්දැයි යන්න සැකයකි.

මුදල් යහමින් ඇති ව්‍යාපාරිකයෝ අත දිගහැර මුදල් වියදම් කරමින් රටේ සෑම පක්ෂයක් තුළම පාහේ තම නියෝජිතයන් පත් කරගෙන සිටිති. මේ ව්‍යාපාරිකයන් තව එකෙකුගේ ඡන්දයකට අත දිගහැර වියදම් කරනුයේ පින් තකා නොවේ. ලාභ සන්තානය පෙරදැරිවය. තමන් වියදම් කළා මෙන් විසි තිස් ගුණයක ප්‍රතිලාභයක් පෙරළා ලබාගත හැකි බව ඔවුහු හොඳාකාරව දනිති. විප්ලවවාදී යැයි කියාගන්නා එසේ පෙනී සිටින පක්ෂයක මූලස්ථානය ඉදිකිරීමේදී ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකුගේ සහාය හිමි වූ බව ප්‍රකට කාරණයකි. එසේම වරක් සමසමාජ පක්ෂයට විකල්පයක් ලෙස බිහි වූ පක්ෂයක මැයි දින රැස්වීමක් පැවැති භූමිය සැරසීමට අවශ්‍ය පොලිතීන් එසමයෙහි රටේ සිටි ප්‍රකට ‘මුදලාලි’ කෙනෙකු සැපයූ බවට මාධ්‍ය වාර්තා පළ වී තිබිණි. කුමන පාර්ශ්වය බලයට පැමිණියද එබඳු ව්‍යාපාරිකයෝ ජයග්‍රාහකයෝය. ඔවුහු හැමදා බලවත්ය. ධනවත්ය.

සත්‍ය වශයෙන්ම රටක් ලෙස පෙරට යන්නට තබා, පෙරට යාමක් ගැන සිතන්නටවත් උවමනාවක් තිබේ නම් සහමුලින්ම සමස්ත රටම නැවත ප්‍රතිනිර්මාණය විය යුතුය.

අප බොහෝ දේ සම්බන්ධව තේරුම්ගෙන සිටින්නේ 'වැරදි කොන්වලින්' ය. රට ගැන සිතනවා කියා බොහෝ දෙනා කල්පනා කරන්නේ ජාතිවාදී නැඹුරුවකින් හිතන එකය. ජාතිය ගැන සිතනවා කියා බොහෝ දෙනා කල්පනා කරන්නේ තමන් උපන් ජාතිය ගැන සිතන එක මිස

ශ්‍රී ලාංකේය ජාතියක් ගැන කල්පනා කරන එක නොවේය.

දශක හතකට වඩා කාලයක් අපට වැරදුණේ ඒ වැරදි පාරේ කළ ගමන නිසාය.

මෙරටට පැමිණි දරුණුතම ස්වභාවික ව්‍යසනය 'සුනාමිය'ය. මීට වසර 14කට පෙර සිදු වූ ඒ ව්‍යසනයෙන් තාමත් කම්පිතව සිටින පවුල් දහස් ගණනකි. සියලු දෑ තත්පර කිහිපයකින් 'හොරු' අරන් ගිය විට තවදුරටත් කුමන අපේක්ෂාවක්ද?

එවන් විපතට පත්වූවන් වෙනුවෙන් ලැබුණු ආධාර පවා හොරා කෑ දේශපාලුවන් මේ රටේ සිටින තත්ත්වයක් තුළ, එමතු නොව ඔවුන් දේවත්වයෙහි ලා සලකන අනුගාමිකයින්ද සිටින තත්ත්වයක් තුළ තවදුරටත් 'පෙරට යන' රටක් තිබේවිද?

මාතෘකා