හොල්මන් වන්නේ සොබාදහමද අපිද?

හොල්මන් වන්නේ සොබාදහමද අපිද?

පළමු කතාව

'උතුර' ගංවතුර විසින් යටකොට තිබේ. විසිදහසකට ආසන්න පවුල් ප්‍රමාණයකගේ ජන ජීවිත ගංවතුරෙන් පීඩාවට පත්ව තිබේ. සාරෙට වැවුණු එළවළු වගාවන් සහමුලින්ම විනාශ වී ගොස් ඇති අතර, පහත් බිම් සියල්ලම ගංවතුර විසින් ස්වකීය අණසකට යටත් කරගෙනය. ආරක්ෂක හමුදාව සහ සිවිල් සංවිධාන, පීඩාවට පත් වූවන් මුදා ගනිමින් සිටින අතර රජය සහන සේවා ක්‍රියාත්මක කොට තිබේ. මේ ව්‍යසනය තවමත් ඇතැම් මාධ්‍යවලට හරිහමන් 'නිවුස්' එකක් නොවේ. 'උතුරනේ' යන ඔතෑනි ආකල්පය තවදුරටත් ඇතැමුන් වෙතින් පහව නොගිය බවක් පෙනෙන්නට තිබේ.

කෙසේ වෙතත් මේ වනවිට තවමත් පහව නොගිය ගංවතුර උවදුර උතුරේ ජීවිත පීඩාවට පත්කරමින් තිබෙන බව සටහන් කළ යුතුය.

සොබාවික උවදුරු කඩාපාත් වෙන්නේ හිටි අඩියේමය. එයින් පීඩාවට පත්වන්නේද පාට හෝ වර්ග භේදයකින් තොරවය. සියලු සන්තකයන් අන් සන්තක වූ කල එවන් ජීවිතවලට 'ආදරය' බෙදා දීම පවා ඔවුනට සැනසිල්ලට හේතුවක් ය. ආගන්තුක සත්කාර යනු 'මිල මුදල් ආහාරපාන' දීම පමණක් නොවේ. 'ආදරය සහ සෙනෙහස පෑමද' සත්කාරයකි.

දෙවැනි කතාව

'සේනා' දළඹුවන් මහියංගණයද ආක්‍රමණය කර තිබේ. අම්පාරේ බඩඉරිඟු කොටුවලට පැන බඩඉරිඟු සංහාරයක් කළ සේනා, දැන් රටේ සැලකිය යුතු ප්‍රදේශයක් ආක්‍රමණය කොට හමාරය.

කෘෂිකර්ම නිලධාරීන් දැඩි සේ අවධානයෙන් සිටින මෙම ව්‍යසනය පිළිබඳ මුලින්ම හඳුනාගෙන තිබෙන්නේ 2016 වසරේ නයිජීරියාවේදීය. සේනා දළඹුවා ලෙසින් හඳුන්වන මෙම ආක්‍රමණශීලී ආගන්තුකයා ඉතා ඉක්මනින් රටවල් 44ක් කරා පැතිරෙන්ට විය. ඒ අනුව අපගේ ආසන්නතම රට වන ඉන්දියාවට පසුගිය දිනවල මෙම සේනා දළඹුවා පැමිණ වගාවන් වනසන්නට පටන් ගැනිණි.

මීට මාස හතරකට පමණ පෙර හින්දුස්ථාන් ටයිම්ස්, ඉන්ඩියන් එක්ස්ප්‍රස් මෙන්ම ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත්වල කෘමි ආක්‍රමණයක් ගැන අනතුරු ඇඟවීමක් සිදුවිය. මේ අනතුරු ඇඟවීම කර තිබුණේ එම කෘමි ආක්‍රමණය සිදුවුවහොත් වගාබිම් ඇතුළු බොහෝ හරිත පරිසර පද්ධති උන් යටතට පත් කර බලා සිටීම හැර වෙනත් විකල්පයක් නොතිබුණු බව කියන්නටය. ඉන්දියාව මතු නොව එකම භූමියක පැතිරී ඇති පාකිස්තානය, නේපාලය, බංග්ලාදේශය වැනි රටවල් මේ අනතුරු හැඟවීමෙන් වික්ෂිප්ත විය. වසරකට පෙර අප්‍රිකානු මහාද්වීපය මේ කෘමියා විසින් මළගමක් බවට පත් කරන ලදී. සමහර අප්‍රිකානු රටවල වගාබිම්වලින් සියයට 50ක් සහමුලින්ම වැනසුණි.

ලංකාවට කඩා පැන සිටින්නේ මෙවැනි 'යක්ෂයෙකි'.

ලව, දෙව නැතිව වගා බිම් සහමුලින් වනසන මේ යක්ෂයා ගැන තවමත් හරි හැටි අවදානයක් යොමුව ඇති බවක් පෙනෙන්නට නැත.

දශක කිහිපයක සිට විවිධ උවදුරු පැමිණෙමින් තිබේ. පරිසර හිතකාමී ජනජීවිත රටාව උස්සා පොළොවේ ගසා පරිසර විරෝධී ජීවිතවලට යොමු වීමේ උග්‍ර විපාක සමාජයක් ලෙස අත්විඳින්නට සිදුව තිබේ. වගාවන්ට හිතකර කෘමි සතුන් වඳ වී ගොස් වගාවන්ට අහිතකර කෘමීන් මේ වන විට පැතිර සිටී. සොබාදහමේ තුල්‍යතාව සමඟ සෙල්ලම් කිරීමේ ප්‍රතිඵල එහෙමය.

සොබාදහමට එරෙහිව කටයුතු කළ චීනයට සිදු වූ ව්‍යසනය මේ මොහොතේ සිහිපත් කළ යුතුය.

'අගමැතිතුමනි, ගේ කුරුල්ලෙක් අවුරුද්දකට ධාන්‍ය කිලෝ හතරක් කෑමට ගන්නවා. අපේ රටේ ගේ කුරුල්ලෝ මිලියන 10ක් විතර ඉන්නවා නම් උන් අවුරුද්දකට ධාන්‍ය කිලෝ මිලියන 40ක් කනවා. ඉතින් ඒක ලොකු අපරාධයක්.' මාවෝ සේතුංට උපදේශකයෙක් එහෙම කීවේය.'මොකක්ද විසඳුම?'

'එකම විසඳුම ගේ කුරුල්ලන් සියලු දෙනා මරා දැමීම'

කීවා වගේම වැඩේ ක්‍රියාවට නැඟුණි. ගේ කුරුල්ලෙකු සොයාගත නොහැකි තැනට චීන සමූහාණ්ඩුව පත්විණි. ගේ කුරුල්ලෙක් බෙහෙතකටවත් සොයා ගන්න බැරි වුණි. එහෙත් මේ සොබාදහමට එරෙහි සෙල්ලමට උත්තර දෙන්න සොබාදහම අවුරුදු දෙකක් ඇතුළත වග බලා ගත්තේය.

ගේ කුරුල්ලන් අහිමි වූ රටේ බිඳ වැටුණු පරිසර තුල්‍යතාව මැද පළා ගිරවුන් පිරිවරාගත් කෘමි උවදුර එක යායට බෝ විණි. යහමින් වැඩෙන කෙත් යායවල් සහමුලින්ම වැනසීමට

මේ කෘමීන්ට ගතවුණේ මිනිත්තු කිහිපයක් පමණය. මහා සාගතය ඇරැඹුණි. කුස පොත්ත පිට පොත්තට ඇලුණු ලක්‍ෂ ගාණක් ඇවිදින ඇටසැකිලි බිහි විණි. චීනයේ ජන ජීවිත

බිහිසුණු හීනයක නන්නත්තාර විණි. කුසට අහරක් තබා දියබිඳක් අහිමි මිනිසුන් මංමාවත් පාසා වැටී සිටි අතර

මිනිසුන් මිනිසුන්ව කා දැමූ අවස්ථා ගැන පුවත් සිව්දිගින්

අසන්නට ලැබිණි. ලක්ෂ හතළිස් පහකට වැඩි ජීවිත සාගතය විසින් ඝාතනය කොට තිබිණි. සාගතය අස්සේම නියඟයකුත් පැමිණි අතර දොර දොර මළමිනී පිරී ඉතිරුණි. සොබාදහමේ සාපය ශෝකයේ විලාපයෙන් ගිඟුම් දුන් අතර පාළු කුඹුරු යායවල් රට පුරා පැතිරිණි. සොබාදහමට එරෙහිව යෑමේ බිහිසුණු ආදීනව ලෝකයට උරුම වූ අවස්ථා එමටය. චීනය අත්වින්දේ එවැනි බිසිසුණු ඉරණමක්ය.

සංවර්ධනය සහ ජීවන පැවැත්ම පරිසරය හා අනුපාත විය යුතුය කියන්නේ ඒ නිසාය.

මාතෘකා