අ'තේ' පිච්චිය

අ'තේ' පිච්චිය

විදෙස් අධිරාජ්‍යවාදීන්ගේ පළමු වැවිලි භෝගය ලෙස ප්‍රචලිත වූයේ කෝපි වගාවය. වර්ෂ 1880දී පමණ කෝපි වගාවට වැලඳුණු රෝගයක් හේතුවෙන් කෝපි අතැර ක්‍රමයෙන් මහා පරිමාණ තේ වගාවට යොමු වීමට 'සුද්දා' උත්සුක වූවේය. එතැන් පටන් වසර සියයක පමණ කාලයක් මෙරට ප්‍රධානතම අපනයන ආදායම ජනිත කිරීමට තේ කර්මාන්තයට හැකියාව ලැබිණි. සාපේක්ෂව වැඩි ආදායමක් ලැබෙන, අඩු කායික වෙහෙසක් වැයවන ඇඟලුම් කර්මාන්තය ප්‍රධාන අපනයන කර්මාන්තය බවට මේ වනවිට පත්ව ඇතද, තවමත් ප්‍රමිතිය සම්බන්ධයෙන් ලෝක වෙළෙඳපොළෙහි 'සිලෝන් ටී' සතු කීර්තිය එලෙසම පවත්වා ගැනීමට එම කර්මාන්තය සමත්ව ඇත. නමුත් එදා මලබාර් වෙරළෙන් ඉන්දියානු දුක්ඛිත ජීවිතය අතැර මුහුදු යාත්‍රාහි නැඟි තේ වතු කම්කරුවන්ගේ වත්මත් පරම්පරාව අදත් ගෙවන්නේ සාපේක්ෂව දුක්ඛිත ජීවිත ය.

කාලානුරූපීව යාවත්කාලීන නොවූ බොහෝ කර්මාන්ත වැසී ගියද, දිනෙන් දින අගයන් එකතු කරමින් නව වෙළෙඳපොළ සමඟ තේ කර්මාන්තය අත්වැල් බැඳ ගනිද්දී, වසර එකසිය පනහක් පුරා සිය පරම්පරා ගණනක් සටන් වැදි 'ජීවිතයට නියම අගයක්' එක් කරගැනීමට වතු සේවකයෝ අසමත්ව සිටිති.අද ඔවුහු වත්තෙන් බැහැරව කොළඹ කොටුවේ වාඩි ලා ගෙන රට කරවන්නන්ගේ දෑසට පෙනෙන ලෙස විරෝධතා දැක්වීමට උත්සාහ කරති. කඨෝර සීතල, සර්ප උවදුරු, අධික බෑවුම් වැනි දුක් නිරතුරුව හුරු ඔවුන්ට කොළඹ කොටුවේ අව් රශ්මිය හෝ දූවිල්ල එතරම් කටුක වේ යැයි සිතිය නොහැකි වුණත්, තම වෘත්තීය සටන් තම ඡන්ද මල්ල පෝෂණය පිණිස සොරාගත් වතු හාම්පුතුන් අදත් රථ පිරිවරා පාර්ලිමේන්තුවට ඇදෙනු දැකීම කටුක නොවේයැයි කිව නොහැකිය.

වතු කම්කරුවන්ගේ ඉල්ලීම සෘජුය. සරලය. ඉල්ලන්නේ ඉර හඳ නොවේය. අනෙක් අතට දෛනික මූලික වැටුප රුපියල් දහසක් ගෙවීමට නොහැකි තරමට හාම්පුතුන් බංකොලොත් වී ඇත්නම්, කර්මාන්තය පවත්වාගෙන යෑමේ එකම අගය 'සිලෝන් ටී' කීර්තිය පවත්වා ගැනීම පමණක්ය. තත්ත්වය එසේ නම් වැඩි ආර්ථික ප්‍රතිලාභ ලැබෙන වැවිලි භෝගයක් කරා වැවිලිකරුවන් යොමුවීම වඩා යහපත්ය. සාමාන්‍යයෙන් වතු සේවකයන්ගේ පවුල්වල එක් අයකුට පමණක් වත්තේ රැකියාව ලැබේ. සාපේක්ෂව අඩු ඉගැනුම් පහසුකම් සහිත අඩු සාක්ෂරතාවක් සහිත වතු සේවක පවුල්වල බාල පරම්පරාවේ සාමාජිකයන් ගණන අඩු නොවේ. ඔවුන් තරුණ වියට එළැඹෙත්ම පිට පළාත්වල කඩවල්, හෝටල්වල, වාහන සේවා ස්ථානවල කම්කරු රැකියාවට යොමු වීම සාමාන්‍ය තත්ත්වයකි. මේ හරහා ගොඩනැඟෙන සමාජ ප්‍රශ්නවලින්ද බැට කෑමට සිදුව ඇත්තේද ඔවුන්ටමය.

දශක ගණනාවක් ඔවුන්ව නියෝජනය කරනවායැයි පැවසූ සාම්ප්‍රදායින වතු දේශපාලනඥයා අදත් කොළඹ සුපිරි රාත්‍රී සමාජ ශාලාවලට සිරව ඇත. වතු හිමියන්ගේ දීමනා, කොමිස් සහ සන්තෝසම්වල සාඩම්බරකාර කොටස්කරුවන්ව ඇත. දුක් විඳින වතු සේවකයන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම හුදෙක් පොරොන්දුවක් පමණක්ම වීමට ඔවුන් වගබලා ගන්නේ, ඊළඟ වාරයේද ඔවුන් රැවටීමට පොරොන්දු මල්ලේ ඉඩ තබා ගත යුතු බැවිනි.

පසුගිය දශක ගණනාවටම වතු සේවකයන් අරබයා සිදු වූ ධනාත්මක වෙනස්කම් අතලොස්ස අතරට පසුගිය වසර කිහිපයේදී ඇරඹි වතු සේවක නිවාස ව්‍යාපෘති සහ ඉන්දියානු ආධාර හරහා සෘජුවම ගොඩනැඟි අධ්‍යාපන සහ වාසස්ථාන ව්‍යාපෘති සඳහන් කළ හැකිය. නමුත් දශක ගණනාවක් පසුපස සංවර්ධන ඉලක්ක කරාවත් ළඟා නොවී ඇති වතු සංස්කෘතියට එම ව්‍යාපෘති මඳ අස්වැසිල්ලක් පමණකි.

කිසිම දේශපාලන ව්‍යාපාරයක අතකොලුවක් නොවන සැබැවින්ම තම වැඩිහිටි පරම්පරාව විඳින දුක් ගැහැට ගැන ළයෙහි රැඳි වේදනාව වෙනුවෙන් තරුණ පිරිසක්, තම ජාන පරම්පරාවේ දහදියවල නියම මිල ඉල්ලමින් වීදි බැස තිබේ. ඩීල් සහ ගේම් දේශපාලනයෙන් තව දුරටත් මේ පරම්පරාව වෙහෙස නොකර, ඔවුන්ගේ කඳුළු දහදිය මතින් තැනූ මන්දිරවලින් එළියට බැසීමට, වතු දේශපාලකයන්ට දැන් කාලය එළැඹ තිබේ. මන්ද, එසේ නොවුණහොත් ඔවුන්ට උරුම තැන මහජනතාව තීරණය කරන දිනය වැඩි ඈතක නොවෙනු ඇත.

මාතෘකා