එන වසර සහ අභියෝග

එන වසර සහ අභියෝග

ශ්‍රී ලාංකිකයන්ට නව වසර බාර ගන්නට වන්නේ අභියෝග රැසක් තම තමන්ගේ නිවෙස්වල දොරටුවලට තට්ටු කරමින් සිටියදීය.

එය සඟවාලිය නොහැකි යථාර්ථයයි. එතෙරට ගෙවා දමන්නට නියමිත දැවැන්තම ණය වාරික ප්‍රමාණය ගෙවිය යුතු වසර එන වසරය. එය ඉතිහාසයේ වැඩිම ණය වාරිකය වන ඇ.ඩො. බිලියන 4.2කි.

1948 නිදහසෙන් පසුව වැඩිම විදේශ ණය සඳහා ගෙවීම් කිරීමට සිදු වූයේ 2018 වසරේදීය. එම මුදල ඇ.ඩො. මිලියන 2845ක් වූ අතර ඉන් ඇ.ඩො. මිලියන 1789ක්ම 2015 වසරට පෙර ලබාගත් ණය වාරිකයන්ය. 2015ට පසු ලබාගත් ණය සඳහා ගෙවීමට ඇත්තේ ඇ.ඩො. මිලියන 1056ක් පමණි.

තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 3768ක ණය වාරික සහ පොලිය වශයෙන් 2020දී ගෙවීමට සිදු වන අතර එයින් 77%ක් නැතහොත් ඇ.ඩො. මිලියන 2905ක් ගෙවිය යුතු වන්නේ 2015 වසරට ප්‍රථම ගත් ණය වෙනුවෙන්ය. 2015න් පසු ලබාගත් ණය වෙනුවෙන් ගෙවීමට ඇත්තේ ඇ.ඩො. මිලියන 863ක් පමණි. 2021 වසරේදී විදේශ ණය ගෙවීම්වලින් 83%ක්ම ගෙවීමට සිදුවන්නේ 2015ට පෙර ලබාගත් ණය සඳහාය.

ගමන පහසු හෝ සුන්දර නැත.

ඉක්ම ගිය දින පනස් ගාණක කාල පරාසය මෙරට සමාජයට එල්ල කළ අභියෝගයද සුළුපටු නොවේ. රාජ්‍ය යාන්ත්‍රණය සති කිහිපයක් ක්‍රියාත්මක වූයේ සංක්‍රාන්ති තත්ත්වයක් තුළය.

ලොව බොහෝ රටවල් නව වසර වෙනුවෙන් සියලු සැලසුම් සකසා අවසන්ය. (වඩාත් නිවැරදි වන්නේ ඒ බොහෝ රටවල් සකස් කරන්නේ දිගුකාලීන සැලසුම්ය.)

එහෙත් අපි එන වසරට මුහුණ දෙන්නේ 'අයවැය' හෝ නැතිවය.

ඒ වෙනුවට සිදුව තිබෙන්නේ 'අතුරු සම්මත ගිණුමක්' ගෙන එන්නටය.

සාමාන්‍යයෙන් ඊළඟ වසරේ විසර්ජන පනත හෙවත් 'අයවැය' ඊට පෙර වසරේ නොවැම්බරයේ ඉදිරිපත් කිරීම සිදු කෙරේ. එය දෙසැම්බරයේ සම්මත කරගත යුතුය. අයවැය ලේඛනය යනු රටේ අනාගත ගමන්මඟෙහි දිශානතිය තීන්දු කරන ප්‍රධානතම ලියවිල්ලය. ඉදිරි වර්ෂයේ ඇස්‌තමේන්තුගත රාජ්‍ය ආදායම, රාජ්‍ය වියදම, ඒ අනුව ජනිත වන අයවැය හිඟය සහ එය පියවා ගන්නා ආකාරය පවා අයවැයේ වෙයි. රටේ සංවර්ධන කටයුතු සහ ඉදිරිය ගැන මූලික 'හරය' පවත්නේ එහිය. සාමාන්‍යයෙන් අයවැය 'දේව ලියවිල්ලක්' තරමෙහිලා සලකා තිබෙන්නේ ඉතිහාසයේය. පසුකාලීනව එය හුදෙක් කඩ වන 'මැතිවරණ පොරොන්දුවක' සිරියක් ගෙන තිබිණි. ඒ අයවැයෙන් කියන බොහෝ දෑ 'හිස් වචන' බවට පත් වූ අත්දැකීම ජනතාව සතු නිසාය.

උද්ගත වූ දේශපාලන අර්බුදය හේතුවෙන් නිශ්චිත 'අයවැයක්' 2019 වෙනුවෙන් ඉදිරිපත් වූයේ නැත.

එහි ප්‍රතිඵලයක් ලෙස 'අතුරු සම්මත ගිණුමක්' හරහා නව වසරේ මුල් මාස කිහිපයේ කටයුතු සිදු කෙරෙනු ඇත.

අතුරු සම්මත ගිණුමක්‌ යනු ඉදිරි වර්ෂයට අදාළ විසර්ජන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නොහැකි වන අවස්‌ථාවක ඒ වෙනුවට රජයේ වියදම් දැරීම සඳහා ඉදිරිපත් කරන තාවකාලික වියදම් ලේඛනයකි.

ඉලක්‌ක කළ රාජ්‍ය ආදායම් සැලකිය යුතු ලෙස පහත වැටීමත්, රජයට අතිරේක වියදම් දැරීමට සිදුව තිබීමත් නිසා සමස්‌ත අයවැය හිඟය ඉහළ යාම අරුමයක් නොවේ. අනෙක් අතට ඉතා සමීප මැතිවරණයක සේයාව තිබේ.

එවන් තත්ත්වයක් තුළ යන්නට සිදුව තිබෙන ගමන සරල සහ සුගම නැත.

ව්‍යවස්ථාදායකය සහ විධායකය අතර පවත්නා සහසම්බන්ධතාව මෙහිදී අතිශයින්ම තීරණාත්මකය. ජනප්‍රියවාදී 'ගැලරි' කටයුතුවලින් මිදී, මෙරට මජර දේශපාලන රටාව වෙනස් කිරීමට ඉදිරි දවස් වෙන් කරනවා නම් රටක් ලෙස එය ඉතා බලාපොරොත්තු සහගත දෙයකි.

මෙහි වගකීම පැවරී තිබෙන්නේ දේශපාලනඥයන් අතය. ඔවුන් මෙහිදී පරිණත වන්නේ යම් සේද ඊට සාපේක්ෂව රටට ප්‍රතිලාභ අත්වනු ඇත. නැත්නම් සිදුවන්නේ සංවර්ධන දර්ශකයේ පහළම තිබෙන රටවල් අතර ශ්‍රී ලංකාව සිටින අයුරු බලා හිත හදා ගන්නටය.

මාතෘකා