උත්සව දොරකඩ

උත්සව දොරකඩ

නත්තල් උත්සව සමයේ 'ලෙඩ' වෙන බව දුම්රිය රියැදුරෝ කල් ඇතිවම පවසා තිබේ. එයින් කියැවෙන්නේ දේශපාලන අලකලංචි අස්සේම මහජනතාවට 'කොරේ පිටට මරේ' වීමට නියමිත බවය.

සාමාන්‍යයෙන් උත්සව සමයට ලක්ෂ ගණනාවක ජනකායක් අගනගරයට සහ තදාසන්න නගරවලට පැමිණෙයි. වසර පුරාම දුක්දොම්නස්, සන්තාප, පීඩාවන් මැද ජීවත් වන මිනිස්සු යාන්තමට හෝ තාවකාලික අස්වැසිල්ලක් ලබන්නේ චිරාත් කාලයක් තිස්සේ පැවැතෙන උත්සව සමය හේතුකොට ගෙනය.

කාලාන්තරයක සිට ශ්‍රී ලංකේය සංස්කෘතිය ආගම හා බැඳී පවතී. ශ්‍රී ලංකාව තුළ විවිධ ආගම් නියෝජනයන් පවතී. බෞද්ධ බැතිමතුන් පොහොය දිනයන් ද හින්දු හා මුස්ලිම් භක්තිකයන් ඔවුන්ට වැදගත් වන දිනයන්ද සමරන අතර ලංකාවේ ප්‍රාදේශීයව පවතින ආගමික සිද්ධස්ථාන දෙස බැලීමෙන්ම ආගමික නැඹුරුව තීරණය කළ හැකිය. ශ්‍රී ලංකාවේ උතුරු හා නැඟෙනහිර ප්‍රදේශවල බොහෝ හින්දු දේවාල සහ මුස්ලිම් පල්ලි දැක ගත හැකි වන්නේ එම ප්‍රදෙශයන්හි දෙමළ හා මුස්ලිම් ජනගහන‍යන් ව්‍යප්තව ඇති බැවිනි. රෝමානු කතෝලික හා පොතෙස්තන්ත්‍ර ආගම් අදහන්නන් බොහොමයක් දකුණු මුහුදු තීරයේ ව්‍යාප්තව ඇති බැවින් එහි බොහෝ පල්ලි දැක ගත හැකිය.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආගම බෞද්ධාගම වීම බැවින් දිවයින අභ්‍යන්තරයේ මෙන්ම දී‍ෙව්‍යාප්තව බෞද්ධ ආගමිකයන් විසිරී පැතිරී ඇත.

මේ සියලු කාරණා පිළිබඳව සැලකිල්ලට ගත් කල්හී වටහා ගත හැක්කේ බෙහෙවින්ම කුඩා කොදෙව්වක් වුවද මෙහි විවිධත්වය අපූරුවට විදහා දැක්වෙන බවය.

මේ අයුරින් ගත් කල්හී උත්සව සමය වනාහී පොදු ජනතාව කිසියම් චිත්ත සන්තෘප්තියකට පත්වන කාල සමයකි.

එය දඩමීමා කොටගෙන ස්වකීය වෘත්තීය ක්‍රියාමාර්ගවලට යොමුවීම කෙතරම් මානුෂීය දැයි කල්පනා කිරීම වටී.

1980දී ලංකාවේ මහා වැඩ වර්ජනය අවස්ථාවේදී එවක ජනපති ජේ.ආර්. සේවකයන් 40,000කට තුවක්කුව දිගු කර කොකා ගස්සවා උත්තර දුන්නේය. 1980දීම සිංගප්පූරු ගුවන් නියමු වැඩ වර්ජනයේදී ලී-ක්වාන් යූ ඔවුන්ට අමුතු පාඩමක් කියා දුන්නේය.

සාමාන්‍යයෙන් සම්ප්‍රදායික 'වැඩ වර්ජන' කලාව වෙනස් වී තිබේ. මෑතකදී ජපානයේ බස් රථ රියැදුරෝ වැඩ වර්ජනයක යෙදුණාහ. පාලකයන්ගෙන් විසඳුමක් නැත. වර්ජකයෝ අලුත් පියවරක් ගත්හ. එය බස් මගීන්ට වඩාත් හිතකර වූ අපූරු වර්ජනයක්ය.

ජපානය තුළ බස් රථයට ගොඩවන දොරටුව අසලම මුදල් ගෙවීමේ යන්ත්‍රයක් පිහිටුවා තිබේ. බස් මගියා තම මුදල හෝ මුදල් ගෙවීමේ කාඩ්පත භාවිත කරමින් මේ යන්ත්‍රයෙන් ටිකට්පතක් ගනී. වර්ජන දිනයේදී මේ යන්ත්‍රය රෙදි කඩකින් වසා මගීන්ට නොමිලේ ප්‍රවාහන පහසුකම් සැලසීමට ඔකයාමා රියැදුරෝ කටයුතු කළහ. වෙනදාටත් වඩා නියමිත වේලාවට බස් ධාවනය කරමින්, සුපුරුදු බස් නැවතුම්වල බස් රථය නවතමින්, සුපුරුදු සේවාව ක්‍රියාත්මක කළද එ් සේවය වෙනුවෙන් මුදල් ගැනීම ඔවුහු ප්‍රතික්ෂේප කළහ.

වැය බර රජයටය.

ලෝකයේ මෙන්ම මේ රටෙන්ද බොහෝ උදාහරණ සපයා ගැනීම අපහසු නැත.

සියල්ලටම වඩා මේ මොහොතේ ශ්‍රී ලංකාව සිටිනුයේ අතිශය තීරණාත්මක මංසන්ධියකය. නීත්‍යනුකූල ආණ්ඩුවක්, සක්‍රිය අමාත්‍ය මණ්ඩලයක් නැත. සියලු බලතල ක්‍රියාත්මක වන්නේ විධායකය හරහාය.

එවන් මොහොතක 'නූලට' විසඳුම් ඉල්ලා 'බොරදියේ මාළු බෑම' මොනතරම් ශිෂ්ට සම්පන්නද කියා සිතා බැලීම වටී.

වෘත්තීය ක්‍රියාමාර්ගවලට තිබෙන අයිතිය සහ නිදහස අපි කිසිවිටෙක ප්‍රශ්න නොකරමු. පාලකයා වෙනුවට පාලිතයාගේ පැත්ත ගැනීම ගැන අපේ කිසිදු කොන්දේසියක් නැත. එහෙත්, මේ මොහොත කෙබඳු දැයි කල්පනා කිරීම අත්‍යවශ්‍යය.

මාතෘකා