උම්බලකඩ සොයන මිනිස්සු

උම්බලකඩ සොයන මිනිස්සු

ප්‍රවාද සහගත කතාවක් වන්නේ එවකට සුදු පාලකයින් ඉන්දියාවෙන් වතු කම්කරුවන් මෙරටට ගෙන ආවේ 'තේ ගස් පාමුල උම්බලකඩ තිබෙන බවත්, ඒවා අහුලන්නට රැගෙන යන බවත්' පවසා යැයි කියාය. එලෙස රැගෙන විත් සියවසක් ඉක්මවා ගොස් පරම්පරා කිහිපයක්ම බෝ වී ඇතත් තාමත් ඔවුහු තේගස් යට 'උම්බලකඩ' සොයති.

ජීවිත වාලුකාවේ සදාතනික උරුමයක් සේ ඔවුහු තේ දලු කඩමින් වුව උම්බලකඩ සොයති.

හමු වූ කෙනෙක්ද නොවේ.

තවමත් යටත් විජිත යුගයේ මෙන් ජීවත් වන ජන කොට්ඨාසයක් ලෙස මෙරට වතු කම්කරු ප්‍රජාව සැලකිය හැකිය. ඒ තරමටම ඔවුන්ගේ ජීවිත තිබෙන්නේ අඳුරු අගාධයේය. වතු කර්මාන්තය මෙරට රජය යටතට පත් වන්නේ 1972දීය. එතෙක් මෙතෙක් ඔවුහු දුක් පිරිපත වළඳමින් දවසරිති.

ඒ අතර උහුලාගත නොහැකි අගහිඟකම් මැද තමන්ගේ දෛනික වැටුප රුපියල් දහසක් කරන ලෙස ඉල්ලා අරගල කරති. ඒ සටන අදත් පවතී.

පාර්ශ්ව තුනක් විසින් දෙවසරකට වරක් අත්සන් කරන සාමූහික ගිවිසුම මඟින් ඔවුන්ගේ ජීවන තත්ත්වය තීරණය වන අතර වතු හාම්පුතුන්ගේ සංගමය හා වෘත්තීය සමිති තුනක් (ලංකා කම්කරු කොංග්‍රසය, ලංකා ජාතික සේවක සංගමය, ඒකාබද්ධ වෘත්තීය සමිතිය) එක්ව එම ගිවිසුම අත්සන් කරනු ලබයි. අදාළ ගිවිසුම් ප්‍රකාරව වතු කම්කරු වැටුප වර්ධනය විය යුතු අතර කම්කරු සුබසාධනය, පහසුකම් ආදිය ද වර්ධනය විය යුතුය. එහෙත් එවැන්නක් සිදු නොවේ.

සුබසාධනය තුට්ටුවට වැටී ඇති අතර වැටුප් වර්ධක දිගින් දිගටම ප්‍රමාද කෙරෙමින් තිබීම කම්කරුවන්ගේ ජීවිතයට එල්ල කරන මරු පහරවල්ය.

2016 වසරේ ද ඔවුන්ගේ මූලික වැටුප වර්ධනය වූයේ රු. 50කිනි. එතෙක් රු. 450ක් වූ මූලික වැටුප ඒ අනුව රු. 500 දක්වා වර්ධනය විය.

ජීවන වියදම අහස උසට නැග්ගද වතු කම්කරුවන්ගේ ජීවිත බොහෝ දෙනෙකුට ජීවිත නොවේ.

මෙරට ආර්ථිකයට දැවැන්ත ශක්තියක් ගෙනාවේ වැවිලි කර්මාන්තය ය. එයිනුත් තේ යනු මෙරට කීර්තියේ සන්නාමය ය.

එහෙත් දිනෙන් දින වැවිලි කර්මාන්තය අගාධයට යමින් තිබේ.

1911දී ලංකාවේ ජනගහනයෙන් කඳුරට දෙමළ ජනතාවගේ ප්‍රමාණය 13%කි. 2011 වනවිට මේ ප්‍රතිශතය 4.8% දක්වා අඩු වී තිබේ. එසේම 1904 වන විට මෙරට තිබූ වතු (රබර්, තේ, පොල්) ප්‍රමාණය 1320කි. එය 1980දී 668ක්ද, 1992දී 506ක්ද, 2013දී 427ක්ද වශයෙන් අඩු වී තිබේ. ලංකාවේ වතුකම්කරුවන්ගේ ප්‍රමාණයද 1981දී 497,995ක්ද, 1992දී 376,498ක්ද, 2013දී 193,412ක්ද වශයෙන් සංඛ්‍යාව අඩුවී ගොස් ඇත.

සිටින අතලොස්ස ඉල්ලා සිටින්නේ ජීවත් වෙන්නට සරිලන වැටුපක් ය.

ලංකාවේ තේ පිළිබඳ ඉතිහාසයට වසර 150ක පමණ අතීතයක් තිබේ. ජේම්ස් ටේලර් නමැති වැවිලිකරුවකු විසින් මහනුවර දිසාවේ හේවාහැට ලුල්කඳුර වතුයායේදී මෙරට තේ වගාව ප්‍රථම වරට ස්ථාපිත කළ බව වාර්තාවන්හි සඳහන්ව ඇත. අප්‍රමාණ කීර්තියකුත් කෝටි සංඛ්‍යාත ධනයකුත් ලබාදුන් තේ කර්මාන්තය අදටත් අපේ රටට ප්‍රබලම ධනෝපාය මාර්ගයකි.

එහෙත් එවන් කර්මාන්තයක ගාමක බලය වන වතුකම්කරුවන් දෙසට අවධානය යොමු කිරීම නොවලහා කළ යුත්තකි.

මාතෘකා