උත්සව කාලේ...

උත්සව කාලේ...

ඇමරිකාවේ හිටපු ජනාධිපති ජෝන් එෆ්. කෙනඩි පැවසුවේ සියලු පුරවැසියෝ පාරිභෝගිකයෝය කියාය. එහෙම ගත් කල ඕනෑම රටක සමස්ත ජනගහනයම සමන්විත වන්නේ පාරිභෝගිකයන්ගෙනි. දේශපාලන අලකලංචි තිබෙනවා කියා නිශ්චිතව එන උත්සව පමා වන්නේ නැත. ඒ අනුව දෙසැම්බර් උත්සව සමය කිට්ටු වෙමින් තිබේ. සාමාන්‍යයෙන් උත්සව සමය ඉලක්ක කරගෙන වෙළෙඳපොළ වෙනස්කම් බොහෝ සිදු වෙයි. සේල්, වට්ටම් ඇතුළු බොහෝ උපක්‍රම ඒ අතර වෙයි.

එදිනෙදා මිලට ගනු ලබන සාමාන්‍ය සිල්ලර භාණ්ඩවල සිට අධිසුඛෝපභෝගී භාණ්ඩ දක්වාම 'ගසා කෑම' යහමින් සිදු වන්නේ උත්සව සමයේදීය. බොහෝ විට එකී ගසා කෑම 'සහල්'වලින්ම ආරම්භ වෙයි.

මක් නිසාද යත් උත්සව සමයේ සියලු ආහාරමය අවශ්‍යතා උදෙසා සහල් අත්‍යවශ්‍ය බව කූඨ වෙළෙඳුන් දන්නා හෙයිනි. පාරිභෝගිකයා ඇන්ඳ වීම සහල්වලින් පටන් ගෙන නවතින්නේ සියලුම භාණ්ඩවලිනි. එය බොහෝ විට දේපළ ඉඩකඩම් දක්වාම ව්‍යාප්ත වෙයි.

උත්සව සමයේ පාරිභෝගික නීති උල්ලංඝණය කරන්නන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ වැටලීම් ආරම්භ කර ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසා තිබේ.

රාජාණ්ඩු සමයේ පටන් අප රටේ පාරිභෝගික අයිතිවාසිකම් තහවුරු වී තිබූ බවට බොහෝ පුරාණ ග්‍රන්ථ හා සෙල්ලිපි සාක්ෂි දරයි.

නීතියේ අර්ථකථනයට අනුව වෙළෙන්දන් විසින් හෝ නිෂ්පාදකයකු විසින් හෝ මිලක් ලබා ගැනීමට සලස්වන යම් භාණ්ඩ හෝ සේවා නියම වශයෙන් භාවිත කරන්නෙකු හෝ භාවිත කරනු ඇතැයි බලාපොරොත්තු විය හැකි තැනැත්තෙකු පාරිභෝගිකයා ලෙස පුළුල්ව හඳුන්වයි. මෙම අර්ථකථනයට අනුව ඉඳිකටුවක් මිලදී ගනු ලබන තැනැත්තාගේ සිට ඕනෑම භාණ්ඩයක් හෝ සේවාවක් මිලදී ගනු ලබන තැනැත්තා පාරිභෝගිකයෙකි. එහෙත්, භාණ්ඩ හා සේවා පරිභෝජනය කරනු ලබන තැනැත්තා පාරිභෝගිකයා ලෙස සරලව හැඳින්විය හැකිය.

වෙළෙඳපොළ ආර්ථිකය තුළ නිෂ්පාදකයා සිය ලාභය උපරිම කරගැනීම සඳහා කටයුතු කරනවා විනා පාරිභෝගික සුබසාධනය ගැන නොසිතයි. එවැනි විටක පාරිභෝගිකයා කල්පනාකාරී වීම ඉතා වැදගත් ය.

පාරිභෝගිකයන් ආරක්ෂා කිරීම සඳහා රජය විසින් විවිධ නීති සකසා ඇති අතර සමහර නීති පාර්ලිමේන්තුව විසින්ද සමහර නීති අදාළ අමාත්‍යවරයා විසින් තම බලතල ප්‍රකාර නියෝග ලෙස සකසා ගැසට් පත්‍රය මඟින් ප්‍රසිද්ධ කොට ඇත.

2003 ජනවාරි මස 9 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත කරගන්නා ලද 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු අධිකාරී පනත පාරිභෝගිකයන් සම්බන්ධයෙන් අප රටේ ක්‍රියාත්මක වන ප්‍රධාන නීතිය වෙයි.

මෙම පනත ක්‍රියාත්මක වීමත් සමඟම එතෙක් පැවති,

- 1979 අංක 1 දරන පාරිභෝගික ආරක්ෂක පනත

- 1987 අංක 1 දරන සාධාරණ වෙළෙඳ කොමිෂන් සභා පනත හා

- 1950 මිල පාලන පනත (73 වැනි අධිකාරය) අහෝසි කරන ලදී.

2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු අධිකාරී පනත මඟින් පාරිභෝගික කටයුතු අධිකාරිය පිහිටුවන ලදී. එම අධිකාරිය පිහිටුවීමේ අරමුණ වන්නේ, පාරිභෝගිකයාගේ ජීවිතවලට සහ දේපළවලට උපද්‍රවයක් සිදු වන භාණ්ඩ අලෙවි කිරීමට සහ සේවා සැපයීමට එරෙහිව පාරිභෝගිකයන් ආරක්ෂා කිරීම, අසාධාරණ පිළිවෙත්වලට විරුද්ධව පාරිභෝගිකයන් ආරක්ෂා කිරීම හා පාරිභෝගික අයිතිවාසිකම්වලට නිසි සැලකිල්ලක් දැක්වීමට සහතික වීමයි.

කෙසේ වෙතත් මෙරට පාරිභෝගිකයන් තම අයිතිවාසිකම් පිළිබඳ නොදැන සිටීම සහ ඊට උනන්දු නොවීම අවාසනාවකි. තම අයිතිවාසිකම් කඩ වූ පාරිභෝගිකයෙකුට පාරිභෝගික අධිකාරියේ 1977 දුරකථනයට ඇමතිය හැකි නමුත් බොහෝ දෙනා එය නොතකා හරිති. දිවයිනේ සෑම දිස්ත්‍රික් කාර්යාලයක්ම කේන්ද්‍ර කරගනිමින් පාරිභෝගික කටයුතු අධිකාරියේ දිස්ත්‍රික් කාර්යාල ස්ථාපිත කර ඇති අතර එම කාර්යාලවලටද පාරිභෝගික පැමිණිලි යොමු කළ හැකිය. එහෙත් එසේ කිරීම නොතකා හරියි.

එවන් තත්ත්වයක් තුළ කූඨ වෙළෙන්දෝ කරණම් ගසති..

මාතෘකා