උද්දාමයෙන් ඔබ්බට...

උද්දාමයෙන් ඔබ්බට...

 

අධිකරණය නැවත තමන් විධායකයේ සහ ව්‍යවස්ථාදායකයේ අනීතික බලපෑමට යටත් නොවන්නට තරම් ස්වාධීන ආයතනයක් බව ඔප්පු කර පෙන්වා ඇත. සංවර්ධනය වෙමින් පවතින රටවලට අධිකරණ පද්ධතියට එල්ලවන ප්‍රධාන චෝදනාව වන්නේ දේශපාලනික පාර්ශ්විකබවයි. ශ්‍රී ලංකාවේද අධිකරණ තීන්දු ව්‍යවස්ථාදායකයේ සාමාජිකයන් ප්‍රසිද්ධියේ විවේචනය කරන කාල සීමාවක් පැවතිණි. නමුත් එම සීමාවන්ගෙන ඔබ්බට පියමන් කිරීමට කාලය එළැඹ තිබෙන බව අධිකරණය නැවතත් ඔප්පු කරමින් සිටියි.

පවතින අර්බුදකාරී වාතාවරණය හමුවේ එක්පසක් ඊයේ අභියාචනාධිකරණය දුන් තීන්දුවෙන් උද්දාමයට පත්ව අධිකරණය පසසන අතරතුර අනෙක් පස දෙසැම්බර් 7ට නියමිත පාර්ලිමේන්තුව විසුරුවීමට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවෙන් තමන් පතන තීන්දුව ලැබෙතැයි මඟ බලාගෙන සිටිති. විධායකයේ තීරණ හරහා ව්‍යවස්ථාදායකය තුළ අර්බුදයක් නිර්මාණය වී ඇති අවස්ථාවක වුවද, අර්බුදයෙන් ගැලවෙන මඟ ලෙස සියලු පාර්ශ්ව අධිකරණය කෙරෙහි විශ්වාසය තැබීම සාධනීය තත්ත්වයකි. මෙවැනි අර්බුදකාරී වාතාවරණයක් තුළ මහජනතාව දැඩි වීදි සහ සටන්කාමී අරගලවලට යොමු වූ අවස්ථා පිළිබඳ උදාහරණ දකුණු ආසියාව තුළද විරල නොවේ.

නමුත් එවැනි ගැටුම්කාරී තත්ත්වයකට පත් නොවී අධිකරණය කෙරෙහි විශ්වාසය තැබීමට තරම් මෙරට මහජනතාවට විනයක් පැවතීම සන්නද්ධ ගැටුම්වලට දශක ගණනාවක් මුහුණ දුන් රටක් ලෙස සැනසුම් සුසුම් හෙළිය හැකි එක් අවස්ථාවකි.

නමුත් මෙය මෙතැනින් නතර නොවිය යුතුය. දෙසැම්බර් 7 දින ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු ප්‍රකාරව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීත්‍යනුකූල බව තීරණය වුවහොත්, මහමැතිවරණයක් හමුවට ගොස් මෙම ව්‍යවස්ථාදායකයේ අර්බුදය විසඳා ගැනීමට අවස්ථාවක් මහජනතාවට ලැබෙනු ඇත. නමුත් ඒ හරහා නැවතත් විධායකයේ බලතල පිළිබඳවද, අධිකරණමය පූර්වාදර්ශ පිළිබඳවද නව සමාජ කථිකාවක් නිර්මාණය වීමද වැළැක්විය නොහැක. එළැඹෙන පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයක් හරහා ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට හැකියාවක් නොලැබුණහොත් මෙම පූරවාදර්ශ හරහා නිර්මාණය විය හැකි අලුත් තත්ත්වයන්ටද පිළිතුරු සැපයීමට අධිකරණයට අවස්ථාව හිමි වනු ඇත.

දෙසැම්බර් 7 තීන්දුව හරහා ජනාධිපතිවරයාගේ ගැසට් නිවේදනය අවලංගු වුවහොත් ඒ හරහාද නව ගැටලු ගණනාවක් පැන නැඟීම වැළැක්විය නොහැක. ජනවරම සහිත ජනපතිවරයා, එජාප නායකයා තම රජයේ අගමැතිවරයා ලෙස පිළිගැනීම දිගින් දිගටම ප්‍රතික්ෂේප කරන තත්ත්වය සහ එජාපය වෙනත් නායකයකුගේ නම අග්‍රාමාත්‍ය ධුරයට නම් කිරීම ප්‍රතික්ෂේප කරන තත්ත්වය හමුවේ මෙම අර්බුදය පහසුවෙන් විසඳෙන සේයාවක් නොපෙනේ. එවැන්නක් තුළ නැවත අධිකරණයට විසඳීමට ගැටලු ගණනාවක් පැන නැඟීමේ ඉඩක් ඇත.

රටේ පාලනය රඳා පවතින්නේ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය නම් ශක්තිමත් කුලුනු ත්‍රිත්වය මත බව පැහැදිලිය. මෙම එක් කුලුනක් හෝ දිරාපත්ව අඩමානව පැවතීම රාජ්‍යයේ සෞඛ්‍යයට යහපත් නොවේ. එසේ වුවද, කුලුනු එකක් හෝ දෙකක් අභියෝගයට ලක්වන අවස්ථාවක අධිකරණය නම් කුලුන ශක්තිමත්ව, පැත්තට ඇල නොවී සෘජුවම පැවතීම මහජනතාවගේ පැත්තෙන් බලාපොරොත්තු නංවනසුලුය.

ඉදිරි වසර තුළ කුමන පක්ෂය, කුමන කණ්ඩායම මෙරට පාලන බලය ලබා ගනීදැයි අනාවැකි කීමට තරම් ශ්‍රී ලංකාවේ දේශපාලනය නිශ්චිත හැසිරීමක් පෙන්වන්නක් නොවේ. නමුත් ඒ කුමන පක්ෂයට හෝ කණ්ඩායමට මෙරට අධිකරණයේ ස්වාධීනත්වය රැකගැනීමේ වගකීමෙන් බැහැරවිය නොහැක්කේ මෙරට මහජනතාවගේ නිශ්චිත ගැලවුම්කරුවාගේ භූමිකාවට පණ පෙවීමේ ශක්‍යතාව සහ ශක්තිය ඇත්තේ අධිකරණයටම වන බැවිනි.

මාතෘකා