මහ පොළොවේ “වකුගඩුව” වැනසීම

මහ පොළොවේ “වකුගඩුව” වැනසීම

"භූ දර්ශකයේ වකුගඩු" යන අනවර්ථ නාමයෙන් හඳුන්වන්නේ 'තෙත්බිම්' ය. ඒ එක්‌රැස්‌ වන ජලය පිරිසිදු කරන යන්ත්‍රය 'තෙත්බිම්' නිසාය.

එමතු නොව,

ස්වාභාවික විද්‍යාගාරයක්, පර්යේෂණ මධ්‍යස්ථානයක්, සංචාරක නිකේතනයක්, ස්ථාවර ඛනිජ සම්පත් ජනන මධ්‍යස්ථානයක් ලෙසද තෙත්බිම් හඳුන්වාදිය හැකිය. සෑම රටකම සමතුලිත පාරිසරික තත්ත්වයක් රැකදීමෙහිලා තෙත්බිම් විශාල කාර්යභාරයක් ඉටු කරනු ලබන අතර, ජෛව හා ශාක සම්පත රැක ගැනීමට තෙත්බිම්වලින් ලැබෙන පිටිවහල සුළුපටු නොවේ.

නාගරීකරණයෙන් ඇති වන පරිසර දූෂණය උරා ගැනීමත් නගරයේ උෂ්ණත්වය පාලනය කිරීමටත් ආර්ද්‍රතාව යහපත් මට්ටමක පවත්වා ගැනීමටත් තෙත්බිම් ඉවහල් වේ.

බාහිර භෞතික පරිසරයට සාපේක්‍ෂව පහත් බිමක පිහිටා ඇති, පාංශු සැකැස්‌ම ජලයෙන් සමන්විත තෙත්බිම් වැඩිම කාලයක්‌ ජලයෙන් පිරී පවතින පැළෑටි, පඳුරු සහ ගස්‌වලින් සැකසී ඇත.

ගංගා, ඇළදොළ, විල්ලු, මිරිදිය වගුරු වනාන්තර ඇතුළත් අභ්‍යන්තර මිරිදිය තෙත්බිම්ද, කුඹුරු, වැව්, ජලාශ ඇතුළත් වන කෘත්‍රිම තෙත්බිම් සහ මෝය, කඩොලාන, කලපු, කොරල්පර, මුහුදු තෘණබිම් ආදිය ඇතුළත් වන කරදිය තෙත්බිම් යනුවෙන් තෙත්බිම් කාණ්ඩ තුනක් මෙරට වෙයි.

ඒ නිසාම ශ්‍රී ලංකාව තුළ අසිරිමත් දේශගුණික විවිධත්වයක් තිබේ.

බුන්දල ජාතික උද්‍යානය, කුමන ජාතික උද්‍යානය, ආනවිලුන්දාව, වන්කාලේ සහ මාදු ගඟ අභය භූමි රැම්සා සම්මුතියෙන් සංරක්‍ෂණය වන තෙත්බිම් හතරකි.

මුතුරාජවෙල අභය භූමිය, මාඳු ගඟ අභය භූමිය, බුන්දල ජාතික උද්‍යානය, කලමැටිය අභය භූමිය, හික්‌කඩුව ජාතික උද්‍යානය, රූමස්‌සල අභය භූමිය යන තෙත්බිම් තුළ මිරිදිය වගුරු, මිරිදිය වගුරු වනාන්තර, මෝය, කඩොලාන, කොරල්පර, මුහුදු තෘණ වැනි බිම් තෙත් බිම් 40 ක්‌ පමණ ආසියානු තෙත්බිම් නාමාවලියට ඇතුළත් කර ඇත.

කෙසේ වෙතත්, මෑතකාලීන ප්‍රවණතාවය තෙත්බිම් අරභයා එතරම් යහපත් නොවේ. ඉදිකිරීම්, නව වගාවන් ආදිය උදෙසා ඉතා සීඝ්‍රයෙන් තෙත්බිම් ගොඩකිරීම සිදුකෙරේ.

මේ නිසාම වර්තමානයේදී තෙත්බිම් රැසක්ම 'අතුරුදන් වී' ඇති අතර තවත් තෙත්බිම් රැසක්ම 'අතුරුදන්' වීමට නියමිතව තිබේ.

තෙත්බිම් තුළට කැළි කසළ සහ අපද්‍රව්‍ය බැහැර කිරීම, තෙත්බිම් ගොඩ කිරීම, තෙත්බිම්වල තිබෙන ඛනිජ ද්‍රව්‍ය ඉවත් කිරීම , තෙත්බිම්වල අනවසර ඉදිකිරීම් කිරීම , තෙත්බිම්වලින් ශාක හා පස්‌ කොටස්‌ ඉවත් කිරීම, තෙත්බිමවල ජෛව විවිධත්වයට හානි වන වෙනත් ක්‍රියා මේ වනවිට උග්‍රව පවතී.

දෙපා පිසගෙන ගලා යන්නට තිබූ වැහි වතුර හිසෙන් ඉහළට නැඟී, නොනැවත පොල් ගස් කරටි පවා පිසගෙන යන ගංවතුර ගලන තැන දක්වාම පාරිසරික තුල්‍යතාවය සසල කරන්නට තරම් තෙත් බිම් විනාශය දරුණු වෙයි.

අග නගරයට ආසන්න තෙත්බිම් රැසක්ම 'සංවර්ධනයේ' සුළඟට හසුව තිබේ. මුතුරාජවෙල, බෙල්ලන්විල වැනි තෙත්බිම් එකී ව්‍යසනයේ තීරණාත්මක ප්‍රහාරයක්ට ලක් වූ තෙත්බිම්ය. කුල්ලක්‌ තරම් වූ මුතුරාජවෙල අල්ලක්‌ තරමට කුඩා වූයේ අවිධිමත් සංවර්ධනය නිසාය.

තෙත්බිම් සම්බන්ධව අන්තර්ජාතික සමුළුවක් 1971 පෙබරවාරි මස 2 දින ජාතීන් 18කගේ සහභාගිත්වයෙන් ඉරානයේ රැම්සාර් නුවරදී පවත්වන ලදී. එහිදී ජගත් තෙත්බිම් සංරක්ෂණය කිරීම සඳහා අන්තර්ජාතික සම්මුතියක් අත්සන් තබන ලද අතර එය රැම්සාර් සම්මුතිය නමින් හැඳින්වේ. 1971 අත්සන් තබා සම්මත කරගත් මෙම සම්මුතිය 1975 වසරේ සිට බලාත්මක වී ඇත. මෙම සම්මුතිය ලෝකයේ තෙත්බිම් සංරක්ෂණය හා යහපාලනය සඳහා ක්‍රියාත්මක වන අතර දැනට රටවල් 160 කට වැඩි ප්‍රමාණයක් මෙයට අත්සන් තබා තිබේ.

ලංකාවද ඊට අත්සන් තැබූ රටකි.

එනිසා 'තෙත් බිමක්' දෙසට නෙත් යොමුවන විට 'රැම්සා' ගිවිසුම සිහිපත් කරගැනීම වටී. එහි මෙලෙස සටහන් ය.

'ලොව පුරා තිරසර සංවර්ධනය සාක්ෂාත් කර ගැනීම උදෙසා ස්ථානීය මෙන්ම ජාතික හා අන්තර්ජාතික සහයෝගිතා මගින් සියලු තෙත්බිම් සංරක්ෂණය කිරීම හා නැණවත්ව භාවිතා කිරීම කළ යුතුය.'

මාතෘකා