අතුරුදන්වූවන් පිළිබඳ ජාත්‍යන්තර දිනයේදී අපේ වගකීම

අතුරුදන්වූවන් පිළිබඳ ජාත්‍යන්තර දිනයේදී අපේ වගකීම

අතුරුදන් වූ තැනැන්තන් පිළිබඳ ජාත්‍යන්තර දිනය අදට යෙදී ඇත. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාවේ අතුරුදන් වූ තැනැන්තන් පිළිබඳ කාර්යාලය විසින් විශේෂ වැඩසටහනක්ද සංවිධානය කර ඇත.

අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය 2018 පෙබරවාරි මස 18 වැනි දින ස්ථාපිත කරන ලද අතර ඒ යටතේ දැනට පවතින දත්ත රැස් කිරීම හා වාර්තාගත කිරීම, යෝග්‍ය ව්‍යුහය හා ක්‍රියාවලීන් සැලසුම් කිරීම හා ස්ථාපිත කිරීම, අදාළ කාර්ය මණ්ඩල බඳවා ගැනීම, විවිධ රාජ්‍ය නියෝජිත ආයතන වෙතින් අනුමැතිය ලබා ගැනීම, සංවිධාන හා අතුරුදන් වූවන්ගේ තොරතුරු ප්‍රාදේශිය මට්ටමින් ලබාදීම යන කරුණු පිළිබද විශේෂ අවධානයක් යොමු කර ඇත.

මෙම කාර්යාලයෙන් අතුරුදන් වූ පුද්ගලයන් සෙවීම, සිටින ස්ථාන හඳුනා ගැනීම හා අදාළ අවස්ථාවන් පැහැදිලි කිරීම, අතුරුදන් වූ පුද්ගලයන්ගේ හා ඔවුන්ගේ ඥාතීන්ගේ හිමිකම් හා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, ඒ සඳහා පිලියම් ලබාදීම, එවැනි තත්ත්වයන් නැවත ඇති නොවීම සඳහා අදාළ නිලධාරීන් වෙත නිර්දේශ කිරීම සිදුවේ.

අතුරුදහන් වීම ශ්‍රි ලංකාවේ බරපතල ප්‍රශ්නයක් වූ අතර 1972, 1978, 1983, 1989-90 හා ඉන්පසුවත් උතුරේ මෙන්ම දකුණේත් අතුරුදහන් වීම් බරපතල ලෙස සිදුවිය. 1978 න් පසුව මේ දක්වා ජනාධිපති කොමිෂන් සභා 9ක් මගින් පුද්ගල අතුරුදහන් කිරීම් පිළිබඳව පරීක‍ෂාකර තිබීම තුළින් ශ්‍රි ලංකාවේ මෙම තත්ත්වය කෙතරම් බැරූරුම්ද යන්න තේරුම්ගත හැකිය.

බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් නිදහස් වීමේ අයිතිය මෙරට ඕනෑම පුරවැසියෙකුට ඇත. ඒ අයිතිය තහවුරු කළේ වත්මන් යහපාලන ආණ්ඩුයි. බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය සදහා ශ්‍රී ලංකාව 2016 ජූනි 24 වන දින සිට පාර්ශ්වකරුවෙකු වන අතර එකී සම්මුතියේ බැඳීම් ඉටුකරනු වස් ශ්‍රී ලංකාවේ 2018 අංක 5 දරන බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුති පනත ශ්‍රී ලංකාවේ ස්ථාපිත කරනු ලැබීය.

එය හුදෙක්ම බිල්ලෙක් ලෙස මවා පාමින් ජනතාව කුලප්පු කරන්නටත් ඊට විරුද්ධව මතයක් ගොඩනගන්නටත් දේශපාලනික වශයෙන් බංකොලොත් වූ පිරිසත් කටයුතු කරනු ලැබීය. එය එක්තරා ආකාරයෙන් ඔවුන් දියත් කරනු ලැබුවේ බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් නිදහස් වීමට ජනතාවට ඇති අයිතිය උදුරා ගැනීම වෙනුවෙනි. තවත් ලෙසකින් ගත් විට ඔවුන් එසේ එම පනතටත් අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයටත් විරුද්ධ වූයේ ඔවුන් විසින් සිදු කළ බව කියන අතුරුදන් කිරීම්වලට නීත්‍යනුකූලභාවයක් ලබා ගැනීම වෙනුවෙන් යැයී කීවද එහිද වරදක් නැත.

ඒ වෙනුවෙන් ඔවුන් ඉදිරියට ගෙන ආ තර්කය වූයේ රණවිරුවන් දඩයම් කිරීම වෙනුවෙන් මෙවැන්නක් වත්මන් රජය ගෙන එන බවය. නමුත් ඒවා හුදෙක් කුහක දේශපාලන තර්ක පමණක් බවට පත් කරමින් මේ වන විට අතුරුදන්වූවන්ගේ කාර්යාලයත්, බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුති පනතත් මේ වන විටත් සක්‍රියව පවතී. ඉන් තහවුරු වූයේ කෝටි දෙකක් වන මෙරට ජනතාවගේ පරම අයිතියකි.

දැන් මේ ගැන විවිධ අවලාද නගන මීට විරුද්ධව කතා කරන බහුතරය රට පාලනය කරන කාලයේ සිදුවූ අතුරුදන්වීම් රටේ ජනතාවට හොඳට මතකය. ප්‍රගීත් එක්නැළිගොඩ, ලලිත් සහ කූගන්, රජීව් නාගනාදන්, ප්‍රදීප් විශ්වනාදන්, තිලගේෂ්වරන් රාමලිංගම් ඇතුළු තරුණයින් එකොළොස් දෙනාගේ සිදුවීම් මෙරට තුළ මෙන්ම ජාත්‍යන්තරය තුළද කතාබහට ලක්විය. ඒවා ගැන විවිධ මට්ටමේ පරීක්ෂණද දැනට ක්‍රියාත්මක වෙමින් තිබේ. එය ප්‍රශංසනීයය. එසේම අතුරුදන් කිරීම් සම්බන්ධ නීතිය ක්‍රියාත්මක කිරීමටය විරුද්ධ වන්නේ අතීතයේ සිදුකළ අතුරුදන් කිරීම්වලට සම්බන්ධ වූ අය සේම අනාගතයේදී අතුරුදන් කිරීම් සිදුකිරීම බලාපොරොත්තු වන්නන්ද විය හැකිය. දැන් කළ යුතු වන්නේ පෙර කීවා සේ 1972, 1989 කාලවල සිදුවූ බව කියන අතුරුදන් කිරීම් ඇතුළුව මෙරට සිදුවූ බව කියන සියලුම අතුරුදන් කිරීම් පිළිබඳ අවධානය යොමු කර ඒ සියල්ලට සාධාරණය ඉටු කරන්නට කටයතු කිරීමයි. එය වඩාත් ප්‍රශස්ත තත්ත්වයක් වනු ඇත.

මාතෘකා