ගැමි ආර්ථිකය නැංවීම

ගැමි ආර්ථිකය නැංවීම

ආණ්ඩුවේ නවතම සංවර්ධන වැඩසටහන ලෙස ගම්පෙරළිය හා එන්ටප්‍රයිසස් ශ්‍රී ලංකා වැඩසටහන මේ දිනවල ප්‍රමුඛ අවධානයක් දිනාගෙන ඇත. විවේචකයන්ගේ මතය වී ඇත්තේ මෙය මැතිවරණ ගුණ්ඩුවක් වන බවය.

මැතිවරණ මුව විට තිබියදී රාජ්‍ය මුදල් ඡන්ද අල්ලස් සඳහා අවභාවිත කළ තක්කඩීන් එවැනි චෝදනා ගෙන ඒම ඉතිහාසයේ සරදමකි.

"මේ ආණ්ඩුව මොනවද කළේ?"

"අවුරුදු තුනක් නිකම්ම ගතවුණා." තවත් අය කියති.

ඇත්තටම අවුරුදු තුනක් ගත වුණේ කොහොමද?හදිසියේම සංවර්ධනය මතක් වුණාද?

මේවායෙහි ඇත්ත නැත්ත දැනගත යුතුවේ.

ජනවාරි 8 ඡන්දයෙන් ගෙදර යවන ලද්දේ පවුලේ බූදලයක් ලෙස සිතා රාජ්‍ය දේපල මහදවාලේ කොල්ලකෑ චෞර නඩයකි. දැන් ඔවුන්ගෙන් ඇතැමෙක් පිරිසිදු යුරෝපීය ඇඳුමෙන් සැරසී උසාවිවල විත්ති කුඩුවේ ලගිති. තව හොඳ හොඳ තරු නුදුරේදීම උසාවියට පායනු ඇත.

මේවා දේශපාලන පළිගැනීම්ද? නැත. කල් යල් බලා තොරතුරු හරියටම තහවුරු කර ගැනීමෙන් පසුව නීතිය ක්‍රියාත්මක කිරීමකි. ආණ්ඩුව පත්වූ විගස සිදු වූයේ සංවර්ධනයේ මුවාවෙන් සකස් කරගෙන තිබූ රාජ්‍ය දේපල කොල්ලකෑම, දූෂණය, වංචාව වැළැක්වීම සඳහා නීති පද්ධතිය ප්‍රතිසංවිධානය කිරීමය. එමෙන්ම කිසිදු ටෙන්ඩර් පටිපාටියකින් තොරව ක්‍රියාත්මක වූ සංවර්ධන කටයුතු සඳහා ටෙන්ඩර් පටිපාටිය පණ ගැන්වීමය. ඒ සඳහා කලක් ගත විය. කොටින්ම රජ පවුල විසින් ද දිවයින පුරාම ඉදිකිරීම් කටයුතු කිරීම සඳහා වංචනිකව ඉදිකිරීම් සමාගමක් පවත්වා ගෙන ගොස් තිබිණ.

දූෂිත ක්‍රමය යටතේ වාසි ලැබූ විශාල පිරිසක් වූහ. ඔවුන්ට වැඩ නැති වීම දෛනික කම්කරුවන්ටද බලපෑවේය. අතමිට මුදල් ගැවසීම තාවකාලිකව අඩාළ විය. සියලු දූෂණ සිදු වූයේ අසීමිත බලැති විධායකයේ අනුහස යටතේය. 19 සංශෝධනයෙන් විධායක බලතල අවම කෙරිණ. කොමිෂන් සභා ස්වාධීන කෙරිණ.

රාජ්‍ය ආදායම ණය පොළී ගෙවීම සඳහාවත් ප්‍රමාණවත් නොවීය. මේ සියලු අභියෝගවලට මුහුණ දෙමින් දෙස් විදෙස් ආයෝජන සඳහා හිතකර වාතාවරණයක් ඇති කිරීමට ආණ්ඩුව සමත් විය. පසුගිය පාලන සමයෙහි රටට අහිමිව තිබූ ඇඟලුම් කෝටා සහනය සහ යුරෝපානු රටවලට මාළු අපනයනය කිරීමේ වරම නැවත හිමි වීම විශාල ජයකි. ඒ වනාහි ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදී නැඹුරුව සම්බන්ධයෙන් එතෙරින් ලද තුටු පඬුරකි. එය ඉවසීමෙන් දිනාගත් ජග්‍රහණයකි.

නීතියට හා පිළිවෙත්වලට එකඟව බිම් මට්ටමේ සංවර්ධන කටයුතු සඳහා නිශ්චිත ක්‍රමවේදයක් අනුගමනය කිරීමේ හැකියාව ලැබී ඇත්තේ දැන්ය. ගම්පෙරළිය සහ එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා යනු ලංකාවේ ගම් 14000 ක් ආවරණය කෙරෙන දැවැන්ත වැඩ සටහනකි. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයත් ව්‍යවසාය සංවර්ධන හා මහනුවර සංවර්ධන අමාත්‍යාංශයත් එක්ව මෙය ක්‍රියාත්මක කරයි.

උපාධිධාරීන් ඇතුළු විවිධ මට්ටමේ අය අතුරෙන් සාර්ථක ව්‍යවසායකයන් බිහි කිරීම මෙහි එක් අරමුණකි. ක්ෂේත්‍ර 16ක් යටතේ පොලී රහිත ණය ලබා දෙමින් ව්‍යවසායන් නිර්මාණය කිරීම මේ වැඩසටහනට ඇතුළත්ය. අවුරුදු 35ට අඩු උපාධිධාරීන් සඳහා මේ මගින් ලක්ෂ 15ක උපරිමයක් දක්වා ණය ප්‍රදානය කෙරේ. 12%ක පොලිය රාජ්‍ය බැංකු මගින් ගෙවීමට නියමිතය. ව්‍යවසායන් පිළිබඳ වගකීම අපනයන සංවර්ධන මණ්ඩලයට පැවරේ.

මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී ඇතැම් බැංකු නිලධාරීන්ගෙන් බාධා එල්ල විය. මේ අබග්ගයට වැඩිපුරම මුහුණ දුන්නේ උපාධිධාරීන්ය. කැබිනට් ඇමතිවරු මේ පිළිබඳව රාජ්‍ය නායකයන් දැනුවත් කළහ. බැංකු නිලධාරීන් දැනුම්වත් කිරීම සිදු වූයේ ඉන්පසුවය.

වත්මන් ආණ්ඩුවේ මර්දනයෙන් තොර නිදහස් පිළිවෙත ඇතැමුන්ට රට අරාජික කිරීමේ මගකි. එනිසා ගම්පෙරළිය හා එන්ටප්‍රයිසස් ශ්‍රී ලංකා වැඩසටහන්ද ගැරහුමට ලක් වනු පෙනේ. සත්‍ය වශයෙන්ම එයින් ගැරහුමට ලක්වන්නේ අන් කිසිවකු නොව එම වැඩසටහනෙන් ප්‍රතිලාභ ලබන ජනතාවයි.

මාතෘකා