පරමාධිපත්‍ය “ඈලියාවට”යැවීම

පරමාධිපත්‍ය “ඈලියාවට”යැවීම

ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ජනතාව සතු පරමාධිපත්‍ය බලය 'පැත්තකට' කිරීමේ බරපතළ ඛේදවාචකයක් මැතිවරණ කොමිෂන් සභාව වාර්තා කරයි. ඒ අලුතින් ඡන්ද දායකයන් ලියාපදිංචි වීමේ ප්‍රවණතාව ඉතා බරපතළ ලෙස අඩු වී තිබෙන බවය. ඒ අනුව මේ වසරේ ලියාපදිංචි වීමේ ප්‍රමාණය එක්ලක්ෂ 75,000 දක්වා අඩු වී තිබේ.

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ තුන් වන ව්‍යවස්‌ථාව අනුව ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍යය පිහිටා ඇත්තේ ජනතාව අතය. ඒ පරමාධිපත්‍ය අත්හළ නොහැකි බවත්, පරමාධිපත්‍යයට පාලන බලතල මූලික අයිතිවාසිකම් හා ඡන්ද බලයද ඇතුළත් වන බවත් එහි සඳහන්ව ඇත. ඡන්ද බලයෙහි පවත්නා වටිනාකම කොතෙක්දැයි ව්‍යවස්ථාවේ එකී ඡේදයෙන්ම පැහැදිලි වෙයි.

ලංකාවට සර්වජන ඡන්ද බලය හිමි වුණේ 1931 තරම් ඈතදීය. ඒ වනවිටත් ශ්‍රී ලංකාව යටත් විජිතයකි. සමස්‌ත ආසියාවේ පමණක් නොව ඕස්ට්‍රේලියානු කලාපයේ නවසීලන්තය හැරුණු කොට පළමුව සර්වජන ඡන්ද බලය ක්‍රියාත්මක කළ රට ශ්‍රී ලංකාවය.

1959 අංක 11 දරන සංශෝධන පනතට අනුව එතෙක්‌ වයස 21 ක්‌ වූ ඡන්ද හිමියකු වීමට තිබූ සුදුසුකම වයස අවුරුදු 18 දක්‌වා අඩු කරන ලදි. ඒ අනුව නව යෞවනයින්ට පවා ස්වකීය පරමාධිපත්‍ය බලය උරගා බලන්නට ඉඩහසර ලැබිණි.

කෙසේ වෙතත්, ජනතාවට ඡන්දය කෙරෙහි උනන්දුව හීනවීම කිහිප අතකින්ම සමාජයට අහිතකරව බලපාන බව කිව යුතුමය. ඕනෑම රටක යහපැවැත්ම උදෙසා තාරුණ්‍ය බලවත් කාර්යභාරයක් ඉටු කරයි. එහෙත්, මෙලෙස ස්වකීය සක්‍රීය දායකත්වය සපයන්නට තිබෙන අවස්ථාවන් නොසලකා හැරීම අපහසුවෙන් ලබාගත් 'යතුරින්' දොර නොඇරී සිටීමක් වැනිය.

දෙවරක් පැවැති අසාර්ථක තරුණ කැරැලිවලදී මෙන්ම, තිස් වසරක් තිස්සේ ඇදී ගිය දෙමළ ඊළාම් කැරැල්ලේදීද වැඩිම සහභාගිත්වයක් දැක්වූයේ තරුණයෝය. ඊට හේතු වූයේ ඔවුන් 'සමාජමය' කාර්යභාරයෙන් ඈත්කොට තැබීමය. මේ කැරළි තුළින් වැඩිම හානියක් අත්පත් කර ගත්තේ ද තරුණ ප්‍රජාවයි. එමතු නොව, මේවා මඩින්නට මැදිවූ ආරක්ෂක හමුදා, පොලිස්, ග්‍රාමාරක්ෂක වැනි බලකායන්ගේ බහුතර සාමාජිකයන් ද, වැඩිපුරම හානියට පත් වූ පිරිස්ද තරුණයෝ ය.

තමන් සතු බලවත් අවිය වන ඡන්ද බලය අත්හැර දමා පැත්තකට වීම සන් කරන්නේ අඳුරු පෙරනිමිතිය. අපි කෙසේ වෙතත් ලෝකයා මේ පරමාධිපත්‍ය බලය අත්පත් කරගත්තේ අප්‍රමාණ කැපවීම් මතිනි. ඒ වෙනුවෙන් ජීවිත පවා පූජාකොට තිබිණි. එය ලංකාව ලබා ගත්තේ බන්දේසියකින් විය හැකිය. එහෙත් අපට බන්දේසියකින් පිළිගැන්වූයේ ලෝකයා දුක් කම්කටොළු මැදින් ලද 'වස්තුවක්' ය.

ඡන්ද බලය අහිමි කොටස් 9ක් ගැන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා‌වේ 89 වැනි ව්‍යවස්ථා‌වේ සඳහන්ව ති‌බේ.

1. ශ්‍රී ලංකා‌වේ පුරවැසි‌යෙකු ‌නොවීම.

2. ඡන්ද හිමියන් ලියාපදිංචි කිරී‌මේ පන‌තේ වි‌ශේෂිතව දක්වා ඇති පරිදි ‌ලේඛනගත වීම.

3. සුදුසුකම් ලබන දිනට වයස අවුරුදු 18 සපුරා ‌නොතිබීම.

4. අදාළ නීතියක් මගින් මනා මනසකින් යුක්ත ‌නොවන්‌නෙකු ‌ලෙස ප්‍රකාශිත පුද්ගල‌යෙකු වීම.

5. ලේඛනගත කිරී‌මේ දිනට වර්ෂ හතකට පූර්ව වකවානුව තුළ වර්ෂ දෙකකට ‌නොඅඩු සිර දඬුවමක් හිමිවන වරදකට මාස හයකට ‌නොඅඩු කාලයක සිරදඬුවමක් විඳි අ‌යෙකු වීම.

6. ලේඛනගත කිරී‌මේ දින‌යේ සිට වසර හතක් ඇතුළත මහා මැතිවරණයක, ජනාධිපතිවරණයක ‌හෝ ඕනෑම ජනමත විචාරණයක දී මැතිවරණ වරදකට වරදකරුවකු කර තිබීම.

7. ඉහත (5) හි සඳහන් කළ නීතියක් යට‌තේ යම් අයථා ක්‍රියාවකට වරදකරුවකු කරනු ලැබූ ‌හෝ වරදකරු බවට හඳුනාගත් අ‌යෙකු වීම ‌හෝ අල්ලස් ‌චෝදනාවකට වරදකරු කරනු ලැබීම ‌හෝ වරදකරු බවට හඳුනාගැනීම ‌හෝ වරදකරු බවට හඳුනාගත් අ‌යෙකු වීම ‌හෝ අල්ලස් ‌චෝදනාවකට වරදකරු කරනු ලැබීම ‌හෝ වරදකරු බවට හඳුනාගැනීම.

8.ආසන්නතම වසර පහ ඇතුළත දී පළාත් පාලන මැතිවරණ ආඥා පන‌තේ කවර ‌හෝ විධිවිධානයක් යට‌තේ වරදකට වරදකරු කරනු ලැබූ පුද්ගල‌යෙකු වීම.

9. ඉකුත් ආසන්නතම වසර තුන තුළ දී ඉහත (5) හි වි‌ශේෂිතව සඳහන් කළ පරිදි ‌වෙනත් ඕනෑම නීතියක් යට‌තේ නීතිවි‌රෝධී චර්යාවක නිරත වීමට වරදකරු බවට හඳුනාගත් පුද්ගල‌යෙකු වීම.

10. විශේෂ ජනාධිපති විමර්ශන කොමිසමක පරීක්ෂණයක නිගමනවල ප්‍රතිඵලයක් වශ‌යෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව ප්‍රජා අශක්නුතාවට ලක්කළ අ‌යෙකු වීම.

මේවායින් තොර අයෙක් වෙත් නම් නොවරදවාම ඔහු ඡන්දහිමි නාම ලේඛනයට සේම ඡන්ද බලය පාවිච්චි කරන්නටද එක් විය යුතුමය. නැතිනම් ඔවුන් කරන්නේ දිවි පුදා ලද වරප්‍රසාදයක් 'ඈලියාවට' යන තුරු බලා සිටීමේ අපරාධය ය.

මාතෘකා