වරප්‍රසාද ලත් සිරකරුවෝ

වරප්‍රසාද ලත් සිරකරුවෝ

සිරකරුවෝද මනුෂ්‍යයෝය' යන්න බන්ධනාගාරයට ඇතුළු වන ගේට්ටුව අසල දක්නට ලැබෙන සුවිශේෂ වැකියකි. එහෙත් සත්‍ය වශයෙන්ම බන්ධනාගාරය සිරකරුවන්ට මනුෂ්‍යයන්ට සේ සලකනවාද යන්න උභතෝකෝටිකයකි.

සෑම බන්ධනාගාරයක් ආශ්‍රිතවම බන්ධනාගාර රෝහල් ස්ථාපිතව පවතින අතර සුදුසුකම් ලත් වෛද්‍යවරු ඒවායේ සේවය කරති. බන්ධනාගාර රෝහල පිහිටා තිබෙන්නේ අසනීප වන රැඳවියන්ට ප්‍රතිකාර කරනු පිණිසය. ඔවුනට ප්‍රතිකාර කිරීමට පිටතට ගෙන ඒම උගහට කරුණක් හෙයින් බන්ධනාගාර පරිශ්‍රයේම අදාළ රෝහල පිහිටුවා තිබේ.

කෙසේ වෙතත් බන්ධනාගාර රෝහල් ඉදි කිරීමේ මුඛ්‍ය පරමාර්ථය වඩාත් යහපත් වුවත් එයින් ප්‍රයෝජන ගන්නේ අදාළ පරමාර්ථය හෑල්ලු කිරීමට සමත් පිරිසක් විසින් වීම කනගාටුවට කරුණකි. අඩි 8ක් දිග සහ අඩි 4ක් පළල කුඩා සිර කුටියක රඳවා තැබීම සිරගත කිරීමේ සාමාන්‍ය ක්‍රමවේදය වන අතර එහිද වසනු නොරිසි පිරිසක් ස්වකීය දඬුවම් කාලය ගත කිරීමට බන්ධනාගාර රෝහල යොදා ගනිති.

බන්ධනාගාරගත වන්නන් පිළිබඳව මෑතකාලීනව නිතර අසන්නට ලැබෙන පුවත වන්නේ 'අසනීප තත්ත්වය හේතුවෙන්' බන්ධනාගාර රෝහලට මාරු කර හැරි බවය. ඒ අනුව ඉකුත් කාල සීමාවෙහි බන්ධනාගාරගත වූවන්ගෙන් වැඩි පිරිසක් නැවතුණේ බන්ධනාගාර රෝහලේය.

රාජ්‍ය දේපළ හා මුදල් අවභාවිතාවන් සම්බන්ධ චෝදනාවන්ට අදාළව අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු ඇමරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය කෙළින්ම බන්ධනාගාර රෝහලට ගියේය. රජයේ වාහන 41ක් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු විමල් වීරවංශ ඊනියා අසනීපයක් මවා බන්ධනාගාර ‍රෝහලට ඇතුළු විය. පසුගිය ජනාධිපතිවරණ සමයේ රාජ්‍ය මුදලින් සිල් රෙදි බෙදීමේ චෝදනාවට හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාම කොමිෂන් සභාවේ හිටපු සභාපති අනූෂ පැල්පිට අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු නමුත් තමන්ට පිට කොන්දේ අමාරු ඇති බව දන්වා බන්ධනාගාර ‍රෝහලේ නවාතැන් ගත්හ. "දිවි නැගුම" ව්‍යාපෘතියේ මුදල් අවභාවිත කළ බවට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් නඩු ගොනු කිරීමෙන් පසුව බැසිල් රාජපක්ෂට තුනටියේ අමාරුවක් වැලඳුණු අතර බන්ධනාගාර රෝහලේ නැවතුණේය.

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට සමේ රෝගය වැලඳුණේ බන්ධනාගාරගත වෙත්දීමය. නාමල්ලා, යෝෂිතලා, ඥානසාර හිමි ඇතුළු බොහෝ දෙනෙකුට බන්ධනාගාර රෝහල හිමි විණි.

බන්ධනාගාර ගත වන රැඳවියකු බන්ධනාගාර රෝහලට ඇතුළත් කරනවාද යන්න තීරණය කරන්නෙ බන්ධනාගාර ආඥා පනත යටතේ ය. එම තීරණය ගන්නේ බන්ධනාගාර අධිකාරියෙන් වන අතර බන්ධනාගාර රෝහලෙන් ජාතික රෝහලට මාරු කරනවාද, පෞද්ගලික රෝහලකට මාරු කරනවාද යන්න තීරණය කරන්නෙත් යම් යම් නීති රෙගුලාසිවලට අනුවය.

එමෙන්ම අදාළ රැඳවියා රෝහලට මාරු කර යවන ලෙස බන්ධනාගාර වෛද්‍යවරයා, නැත්නම් අධිකරණ වෛද්‍යවරයා නිර්දේශ කළ යුතුය.

කුමන හෝ රෙගුලාසි මත වරප්‍රසාද ලත් බොහෝ පිරිස් වෙත 'බන්ධනාගාර රෝහලේ' සහනය ලැබී තිබේ.

රටක ජීවත් වන සෑම පුරවැසියෙකුටම සමාන අයිතිවාසිකම් හා වරප‍්‍රසාද හිමිවිය යුතුය. එය මානව අයිතියකි. නීතිය යනු සියලුදෙනාම සාධාරණත්වය පතන තැනකි. එවැනි තත්ත්වයක් තුළ වරප්‍රසාද ලත් පිරිසට පමණක් එහි ඉඩ ප්‍රස්ථා සැලසීම අවාසනාවකි.

දඬුවමක් ලැබෙන්නේ නීති ප්‍රකාරවය. එකී දඬුවම විඳිනු වෙනුවට හොර පාරෙන් ගොස් විකල්ප සෙවීම 'ලැජ්ජා සහගත' තත්ත්වයකි. 'පොදු සමාවන්' ඉල්ලා බලපෑම් කරන්නේත්, බන්ධනාගාර රෝහලටම යන්න අවසර පතන්නේත් බොහෝ විට ස්වකීය බල අධිකාරියේ මහිම පෙන්වාය.

හැබෑවටම රෝගී වූවෝ, අත පය පවා අහිමි වූවෝ ඒ වෙනුවෙන් නිසි ප්‍රතිකාරයක් ලබාගත නොහැකිව බන්ධනාගාරය තුළ ළත වෙති. කෙසෙල් කැනක් කැපුවාට දඬුවම් විඳින්නෝත්, උදළු මිටකට ගොබුඩු ලීයක් කපන්නට ගොස් අත්අඩංගුවට පත්ව ඇප ගෙවා ගත නොහැකි වූවෝත් බන්ධනාගාරයේ අපා දුක්විඳිති.

එවන් අහිංසකයන් වෙනුවෙන් කිසිවෙකු 'පොදු සමාව' ඉල්ලන්නේ හෝ 'බන්ධනාගාර රෝහලට යොමු කරන ලෙස ඉල්ලන්නේ නැත.

එහෙත් සියලු ඉල්ලීම් 'ලොකු උන්ට' ය.

මාතෘකා