ඉම්රාන්ගේ ජාතිය ඇමතීම

ඉම්රාන්ගේ ජාතිය ඇමතීම

92 දී පාකිස්තානයට ලෝක ක්‍රිකට් ශූරතාවය දිනා දුන් ඉම්රාන් ඛාන්ට එරට පාලනය භාර දීමට පාකිස්ථානුවෝ තීරණය කොට තිබේ. අතිශය දුෂ්කර දේශපාලන ගමනක යෙදෙමින් හෙතෙම ඉදිරි වසර කිහිපය සඳහා පාකිස්තානය භාර ගත්තේය. විරැකියාව, අධිකරණය බර, මන්දපෝෂණය, දරිද්‍රතාවය, අධ්‍යාපනය යනාදී සියලු අංශවලින් පිරිහීමට පත් වුණු රටක් ඉම්රාන්ට හිමිව තිබේ. ඔහුට පැවැරී තිබෙන අභියෝගය සුළුපටු නොවේ.

92 ලෝක කුසලානයට එන විට පාකිස්තාන් කණ්ඩායම සිටියේ අතිශය දුර්ලවල තැනකය. කණ්ඩායමේ නායකත්වය ඉම්රාන්ට නොදී ජාවෙඩ් මියැන්ඩාඩ්ට දිය යුතු යැයි එරට බොහෝ විචාරකයෝ පැවසූහ. කෙසේ හෝ නායකත්වය ලද ඉම්රාන් තමාට හිතෙන කණ්ඩායමක් තෝරා ගත්තේය. ඒ වනවිට අත්දැකීම් විරහිත ක්‍රීඩකයින් වූ ඉන්සමාම් උල් හක්, වසීම් අක්‍රම්, වකාර් යූනුස් වැන්නන් යොදාගෙන තරග බිමට පිවිසියේය. මුල් තරඟ සියල්ල ඔවුහු අසාර්ථක වූහ. එහෙත් අවසන් තරඟ වන විට ඉම්රාන් තේරූ සියලුදෙනාම අදහාගත නොහැකි දස්කම් දැක්වූහ.

අවසානයේදී පාකිස්තානය ලෝක ක්‍රිකට් ශූරතාවය දිනා ගත්තේය.

පසුව ඔහු දේශපාලනයට පිවිසියේය. ඔහුගේ දේශපාලනය රැඩිකල් එකක් විය. වරක් වේදිකාව කඩා වැටී ඔහු බරපතල තුවාල ලැබීය. මැතිවරණ කිහිපයකදීම ඔහු අසාර්ථක විය. ක්‍රමානුකූලව ඔහු ස්වකීය දේශපාලන මතවාදය තරමක් වෙනස් කරගත්තේය.

සියලු අභියෝග මැද හෙතෙම පාකිස්තානයේ අගමැති ධූරයට පත් විය. වඩාත් අපූරු වන්නේ ඔහු එහිදී ජාතිය අමතා කළ කතාවය. හරහට වැටී තිබූ රටක් ගොඩනගන්නට තමා තුළ පවත්නා කැපවීම සහ ඊට තිබෙන ක්‍රියාමාර්ග ඔහු එහිදී හෙළි කළේය. ට්‍රිලියන විසි අටක ණය බරින් රට මුදවා ගන්නට ජනතාවගේ සහය ලබා දෙන්නැයි ඔහු ඉල්ලා සිටියේය. ලෝකයේ ළදරු මරණ ඉහළම රටවල් 5 අතරින් එකක් වන පාකිස්ථනය එයින් ගලවාගත යුතු බවත් ඔහු කීවේය.

‘‘අගමැතිට සේවකයො 524 යි, කාර් 80 යි, වෙඩි නොවදින කාර් 33 යි දැවැන්ත බංගලායි" තිබෙන බව කී ඔහු ඒ අතර දෙවේලක් තබා එක වේලක් කන්නට කිසිවක් නැති පිරිසක් සිටින බවත් කීවේය.

පාසැලෙන් පිට වන මිලියන 25ක දරුවන්ගේ හෙට දවස ගැන කතා කළ ඔහු, ජාතිය අමතමින් කළ වැදගත්ම කටයුත්ත පංචවිධ ප්‍රතිපත්තියක් එළිදැක්වීමය.

නීතියේ ආධිපත්‍යය, ධනවතුන් දුප්පතුන්ට උපකාර කරනු පිණිස ඇති කළ ස්කැන්ඩිනේවියානු පන්නයේ 'සකාන්' බදු ක්‍රමය, සානුකම්පිත බව පාලකයන් සිය වගකීම්වලට අවංක කිරීම උදෙසා වීම, අධ්‍යාපනය ඔහුගේ පංචවිධ ක්‍රියාමාර්ගය.

සිය කාර්ය මණ්ඩලයේ 524 දෙනාගෙන් දෙදෙනෙක් පමණක් තබාගත් ඔහු හමුදා නිවස්නයේ නවාතැන් ගන්නට තීන්දු කළේය. ජීවිත හානිය ගැන වන අනතුරු හැඟවීම නිසා වෙඩි නොවදින රථ දෙකක් ලබාගෙන සෙස්ස වෙන්දේසි කරන බව ඔහු කියයි. අගමැති නිවස විශ්වවිද්‍යාලයක් බවට පත් කරන බව පවසන ඔහු, නඩු වසරකින් අසා නිම කිරීමේ උත්සාහයක් ගන්නා බවද කීය. තරුණයන්ට පොලී රහිත ණය ලබාදී ව්‍යවසායකත්වය නංවන්නට හෙතෙම තීන්දුකොට තිබේ. තරුණයන්ට රැකියා දීමත්, විශාල නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කිරීමත්, කාන්තාවන් සවිබල ගැන්වීමත්, ඔහුගේ සිහින අතර වෙයි.

ලෝකයේ බොහෝ රටවල් සම්ප්‍රදායික ජනප්‍රිය දේශපාලනයෙන් මිදී සිටී. තට්ටු මාරුවට පාකිස්තානය පාලනය කළ ප්‍රධාන පක්ෂ දෙකම බැහැරකොට විකල්පය තෝරා ගත්තේය. 2008 ජනපතිවරණයේදීත් ශ්‍රී ලාංකිකයෝ මේ ක්‍රියාමාර්ගය ආණ්ඩු පෙරළියට යොදා ගත්හ.

අත්හැරීම සම්බන්ධව නූතන ලෝක උදාහරණය සපයන්නේ ශ්‍රී ලංකාවය. ඒ ගැන තර්කයක් නැත. ඉම්රාන් සිදු කළේ එකී පූර්වාදර්ශය තවදුරටත් දියුණු කිරීමය.

සියල්ල දෙස විමසිල්ලෙන් බලන විට එක් දෙයක් පැහැදිලිය. ඒ ඉම්රාන්ගේ නව නැමියාව මෙරට 'යහපාලනයට' කිට්ටු බවය. එය එසේ නම් තරඟය තිබෙන්නේ පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතරය. සාර්ථක වන්නා ඉක්මනින් ජය කණුව කරා ළඟා වනු ඇත.

මාතෘකා