තුන් අවුරුද්ද

තුන් අවුරුද්ද

බලයෙන් උමතුව ජන මනස සමඟ සෙල්ලම් කිරිමේ කූටප්‍රාප්තිය ලෙස මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මීට වසර තුනකට පෙර දෙවැනිවරට පරාජය වූයේ අද වැනි දිනෙකය.

"ජාතිවාදය යනු මිනිසෙකු විසින් තවත් මිනිසෙකු වෙත එල්ල කරන බරපතළම තර්ජනයයි. ඇත්තෙන්ම එය නොසැලකිය හැකි තරම් කුඩා හේතුවක් සඳහා වූ අප්‍රමාණ වෛරයකි."

යනුවෙන් ඒබ්‍රහම්. ජේ. හෙසල් කියා තිබෙන්නේ සත්‍යයකි. ජාතිවාදයෙන් උන්මත්තක වූ පාලනයක් නිමා වූයේ එය යථාවක් කරමිනි.

2015 වසරේ ජනවාරි මස 08 වැනි දින මෛත්‍රිපාල සිරිසේන මහතා මෙරට 6 වැනි විධායක ජනාධිපති බවට පත්වූයේ රාජ්‍ය යහපාලනය හා නීතියේ අධිපත්‍යය ඇතුළු සමස්‌ත පද්ධතියේ වෙනසක්‌ සටහන් කරමිනි. එය මෙරට ඉතිහාසය බිහි කළ ශක්තිමත්ම ආණ්ඩුව විසිහතර පැයෙන් පෙරලා දැමූ අසමසම විප්ලවයකි.

ඉන් අනතුරුව අගෝස්තු 17 රාජපක්ෂ ආණ්ඩුවේ ඉතිරි බලයත් නතු කරගන්නට එජාපය ප්‍රමුඛ යහපාලනවාදීන්ට හැකි විය.

ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වන එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකට එක්ව ආණ්ඩු කිරීමේ විරල අවස්ථාව උදා වූයේ ඒ අනුවය.

නීතියේ පාලනය බිඳවැටීම, අධිකරණයේ ස්‌වාධීනත්වය බිඳවැටීම, දූෂණය හා භීෂණය සමාජය තුළ තහවුරු කිරීම, ආර්ථික සාධාරණත්වය වළපල්ලට යෑම, කෲරතර දේශපාලන පළිගැනීම් වැනි සකල පීඩනයන් මෙරට ඉතිහාසයේ උච්ඡස්ථානයකට නැඟුණේ රාජපක්ෂ පාලනයේ අවසන් කාර්තුවේය.

මාධ්‍යවේදීන් ඝාතනය කිරීම හා අතුරුදන් කිරීම, සාමාන්‍ය ජන විඥානය තුළ රාජාණ්‌ඩු මානසිකත්වයක්‌ ආරෝපණය කිරීම, පවුල්වාදී දේශපාලනයක්‌ ඉස්‌මතු කිරීම, රාජ්‍ය මාධ්‍ය ආණ්‌ඩුවේ හොරණෑ බවට පත්වීම, ආණ්‌ඩු විරෝධී පෞද්ගලික මාධ්‍යයන් දරුණු ලෙස මර්දනය කිරීම වැනි අකටයුතුකම් එවක කෙළවරක් නොවිණි.

මානවයාගේ යහපැවැත්මට බරපතළම තර්ජනය එල්ල වූයේද එවකය. ජාතික සංහිඳියාවට දරුණුතම ප්‍රහාරය එල්ල වූයේ ද එවකය. මිලිටරි සහ මැර බලය සමාජයට මුදා හැරීම, ජනතාව මානසික වශයෙන් බියවැද්දීම, ආණ්‌ඩු විරෝධී උද්ඝෝෂණ ව්‍යාපාරවලට හිතුමනාපෙට ප්‍රහාර එල්ල කිරීම, එවක සුලබ විය.

මහින්ද යුගයේ 18වන සංශෝධනය ගෙනාවේ සදාකාලිකව සිහසුන දරන්නටය. මෛත්‍රීපාල සිරිසේන මහතා 19 වන සංශෝධනය ගෙනාවේ බලය අත්හරින්නටය. දූෂණ චෝදනා එල්ල වූවන් ආරක්ෂා කළ බවත්, අදාල ෆයිල් තමා සතු බවත් කීවේ මහින්ද රාජපක්ෂ මහතාය. දූෂණ චෝදනා එල්ලවූවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළේ මෛත්‍රී ආණ්ඩුවය. නිදහස්‌ හා ස්‌වාධීන මැතිවරණ ක්‍රමය යළි පණ ගැන්වීම කළේ යහපාලන ආණ්ඩුවය.

නිවාස, අධ්‍යාපනය, ඉඩම් වැනි ජනතාවාදී කටයුතු මේ ආණ්ඩුව මගින් ප්‍රශස්ත ලෙස සිදු කෙරේ.

මධ්‍යම පළාත් අධිවේගී මාර්ගය, කොළඹ වරාය නගරය, මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය, පිබිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන, වයඹ ඇළ සංවර්ධන වැඩසටහන ආදී සංවර්ධන, ගම්පෙරළිය, එන්ටප්‍රයිසස් ශ්‍රී ලංකා වැනි වඩාත් ප්‍රශස්ත සහ කාලානුරූපී සංවර්ධන සංග්‍රාමයන් මේ වනවිට සිදුවෙමින් පවතී.

වෙනසකට තිබෙන්නේ ඒවාට සංදර්ශන නොතිබීමය.

විදුලිය බල මණ්ඩලය, බස් රථ, දුම්රිය, වෛද්‍ය, විශ්වවිද්‍යාල, වරාය, ආබාධිතයන් හා රණවිරුවන් පවා එකක් අවසන් වන විට එකක් වශයෙන් නොකඩවා ආණ්ඩුවට එරෙහිව විරෝධතා සහ වැඩවර්ජන රැල්ලක් නැඟ ආවේය. මේ වනාහී 'යහපාලන' ආණ්ඩුව බව ඔවුහු දැන සිටියහ. මිනිස් පැය දහස් ගණන් රටට අහිමි විය.

යහපාලන ආණ්ඩුවට විරුද්ධවාදීන් එල්ල කරන චෝදනාව වන්නේ විරුද්ධවාදීන්ගෙන් 'පළිගැනීම' යන්නය. ආණ්ඩුවට එරෙහිව එල්ල කරන සෙසු චෝදනාවල 'බර' පවා බැහැර කරන්නට තරම් එකී චෝදනාව පුස්සක් ය. 2010 ජනාධිපතිවරණයේදී රාජපක්ෂ මහතාගේ ප්‍රතිවාදියා වූ සරත් ෆොන්සේකා මහතාව මැතිවරණය හමාරවත්ම 'කුදලාගෙන' ගියේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ කළා කියාය. නමුත්, 2015 මැතිවරණ පරාජයෙන් පසු රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයකට සත්‍ය ලෙසම අර ඇඳි සියලු දෙනා යහතින්ය.

සියල්ල පසෙක තිබියේවා! ඉතිහාසයේ පළමු වරට දේශපාලන පළිගැනීම්වලින් තොර අසීමිත නිදහසකින් ආණ්ඩුවට බනින්නට පවා ඉඩ කඩක් මේ තෙවසර තුළ ලබාදී තිබීමම නවමු අත්දැකීමකි.

මාතෘකා