හිරගෙදර ජරමරය

හිරගෙදර ජරමරය

නඩු කඩිනම් කරන්නැයි ඉල්ලා රැඳවියන් 10 දෙනෙකු වැලිකඩ බන්ධනාගාරයේ වහල මතට නැඟ උද්ඝෝෂණය කිරීම මේ දිනවල මාතෘකාවකි. උද්ඝෝෂණයෙහි යෙදුණු රැඳවියෝ වෙඩි නොකා, අතපය කඩා නොගෙන යහතින් සිටීමේ භාග්‍යය ලදහ. ආරක්ෂක ලේකම්ධුරය හා අධිකරණ ඇමතිධුරය 2015 ට පෙර සිටි අය විසින්ම හොබවන ලද්දේ නම් සිදු වීමට තිබූ දේ හිතාගත හැකිය.

"අධිකරණයේ නඩු විසඳන පිළිවෙළක් තියනවා.

ඒ පිළිවෙළ කඩන්න අපට බැහැ."

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමතිනි තලතා අතුකෝරල මහත්මිය මීට ප්‍රතිචාර ලෙස ප්‍රකාශ කර ඇත. රජය සිරකරුවන් කෙරෙහි දැක්වූ ප්‍රතිචාරය ගැන රටවැසියන්ට සෑහීමකට පත් විය හැකිය. එහෙත් සිරකරුවන්ගේ ඉල්ලීම්වල යුක්තියුක්ත බව ඒ නිසා අහෝසි වන්නේද නැත.

"සිරකරුවෝද මනුෂ්‍යයෝය"

වැලිකඩ බන්ධනාගාර තාප්පයෙහි එසේ සඳහන් වෙයි. කලකට පෙර සිරකරුවන් සම්බන්ධයෙන් තිබුණේ අඩු අවධානයකි. එහෙත් වත්මන වන විට ඔවුන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් ලෝක මට්ටමෙන්ම ඇත්තේ වැඩි අවධානයකි. එනිසා සිරකරුවන්ගේ උද්ඝෝෂණ තලා පෙළා කුඩුපට්ටම් කරනු වෙනුවට ඒ පිළිබඳ සංවේදී වෙමින් සුදුසු පියවර ගැනීම බලධාරීන්ගේ වගකීමය.

පසුගිය ආණ්ඩු සමයෙහි වැලිකඩ සිරකරුවන් 27 දෙනෙකු ම්ලේච්ඡ අයුරින් ඝාතනය කිරීමේ සිදුවීම බන්ධනාගාර ඉතිහාසයේ කළු පැල්ලමකි. සිරකරුවන්ගේ උද්ඝෝෂණය දඩමීමා කරගනිමින් තම රහස් සිරකරුවන්ගේ මුවෙන් පිටවේ යැයි බියෙන් පසුවූ පිරිසක් මේ ඝාතන මෙහෙයවා ඇති බව පැහැදිලිය. පසුගිය ආණ්ඩු කාලයෙහි යටගසා තිබූ ඒ පිළිබඳ පරීක්ෂණ විවිධ බාධක මැදේ වුවද වත්මන් පාලනය යටතේ පැවැත්වෙයි. එහිදී සිදුව ඇති එකම දෙය වත්මන් පාලකයන් අධිකරණ ක්‍රියාවලියට බලපෑම් නොකර ස්වාධීනව ක්‍රියාත්මක වීමේ වාතාවරණයක් ඇති කිරීමය. මීට පෙර සිදු වූයේ දේශපාලනය අධිකරණයට ඇඟිලි ගැසීමය. ගෙදර යන ගමන් ඇවිත් යන්න එන්නැයි කියා විධායක ජනාධිපති තම මිතුරියන්ට ශ්‍රේෂ්ඨාධිකරණයේ වැදගත් තනතුරු ප්‍රදානය කිරීමේ කැත සම්ප්‍රදායක් දැන් ක්‍රියාත්මක නොවේ.

සිරකරුවන් ඝාතනය කිරීම, කුඩු ජාවාරම යනාදී අපරාධවලට ඇතැම් බන්ධනාගාර නිලධාරීන් කෙළින්ම සම්බන්ධ බව රජයද පිළිගනී. මෑතකදී බන්ධනාගාර බුද්ධි අංශ සම්බන්ධයෙන් රජය විවිධ පියවර ගනිමින් සිටිනුයේද මේ තත්වය අවබෝධ කරගත් නිසාය.

සිරකරුවන්ගේ ගැටලු විසඳීමේදී නඩු කඩිනම් කිරීම යනු එක් පියවරක් පමණි. ඒ සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුව පමණක් නොව නීතිය ක්‍රියාත්මක කරන සියලු ආයතන පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කළ යුතුය. ඒ පිළිබඳව රජයේ අවධානය යොමු වී පවතී. පවතින නීති ක්‍රමය හැඩගැසී ඇත්තේ වින්දිතයන්ට යුක්තිය ඉෂ්ට කිරීමට වඩා නීතිඥයන්ට කරල පැහෙන තත්වයක් ඇති කිරීම පිණිස බව පෙනේ. මේ නිසා අධිකරණයේ පිහිට පතා යන්නවුන්ට දීර්ඝ කාලයක් පීඩා විඳීමට සිදුව ඇත. ඇතැම් ඉඩම් නඩුවල තීන්දුව ලැබෙන විට පැමිණිලිකරු ජීවතුන් අතර නොමැත. බන්ධනාගාර ගතවන්නන්ගේ තත්වයද කනගාටුදායකය.

බන්ධනාගාරගතව සිටින මුළු සංඛ්‍යාව 24,000ක් පමණ වේ. අධ්‍යාපන මට්ටම අනුව බැලූ විට මේ අයගෙන් 96.8%ක්ම සාමාන්‍ය පෙළ දක්වා උගත් අය වෙති. එමෙන්ම සිරකරුවන්ගෙන් 23%ක් නියෝජනය කරන්නේ කොළඹ දිස්ත්‍රික්කයයි. නාගරීකරණයට සාපේක්ෂව අධ්‍යාපන වරප්‍රසාද පුළුල් නොවීම, ආන්තික පවුල් තවදුරටත් දුගී බවේ පත්ලට වැටීම යනාදී කරුණු සැලකිල්ලට ගෙන දිගු කාලීන පිළියම් යෙදීම අත්‍යවශ්‍ය වේ.

සිරගත වීම ජීවන අබ්බැහියක් බවට පත් කරගත් දරිද්‍රතාවේ පල්ලට වැටුණු පිරිසක්ද සිටිති. මේ වනාහි සමාජ විෂමතාවේ ප්‍රතිඵල වෙත්. දණ්ඩනවේදයට කිසිවකු කැමති නොවන බව බුදු දහමෙහි දැක්වේ. දිළින්දා ආර්ථික වශයෙන් නගාසිටුවීම අපරාධ අඩු කිරීමේ නිසැක මඟ බව චක්කවත්ති සීහනාද සුත්‍රයෙහි සඳහන් වේ. ඒ නිසා මේ වනාහි පුළුල් සමාජ දේශපාලන ප්‍රතිසංස්කරණයක් ඉල්ලා සිටින යුගයකි.

වත්මන් ආණ්ඩුව බලයට පත් කිරීමේ අභිලාෂයන් අතර අපරාධ හා දුෂණ වංචා සිදු කළ ප්‍රභූවරුන්ට දඬුවම් දීමද විය. ආණ්ඩුව ප්‍රමාද වී හෝ විශේෂ අධිකරණ පිහිටුවූයේ එම නිසාය. අපරාධවලට සම්බන්ධ දේශපාලන ප්‍රභූන් මෙය දේශපාලන පළිගැනීමක් හැටියට නම් කළද

ඒ වනාහි යහපාලන රජයේ පොරොන්දුවකි.

මාතෘකා