කැත වැඩ

කැත වැඩ

එදිනෙදා කාර්යාල සේවකයෝ ස්වකීය ප්‍රවාහන මාධ්‍ය ලෙස පාවිච්චි කරන්නේ බසය හෝ දුම්රිය ය. සාමාන්‍ය මධ්‍යම පාංතික මිනිස්සු නෝට්ටු කොළ පුරවාගෙන රැකියාවට එන්නේ නැත. කඩිමුඩියේ රැකියාවට යාමත්, ඊට වඩා වේගයෙන් වැඩ අහවරව නිවසට යාමත් ඔවුන්ගේ එදිනෙදා චර්යාවේ ස්වභාවය ය. පෙරවරුවේ හෝ පස්වරුවේ දුම්රියපොළක දසුන කියා පාන්නේ මිනිසුන් ජීවිතය රැගෙන දුවන දිවිල්ලය.

එක මිනිත්තු පහක ප්‍රමාදය ඔවුන්ගේ ජීවිත ආපසු හරවාලිය නොහැකි තරම් අගාධයකට දමන්නට සමත්විය හැකිය. පෙරේදා සවස සිදු වූයේ එවැනි මිනිසුන් දහස් ගාණනකගේ ජීවිත එක්ක කලින් නොදන්වා කළ 'සෙල්ලමක්'ය.

ඒ වනාහී පෙරේදා ආරම්භ කළ දුම්රිය වර්ජනයයි. වැඩවර්ජන කිරීමට පවත්නා මානව අයිතියට 'සැලියුට්' ගසා ගරු කරන බව අපි මීට පෙරද අවධාරණය කොට ඇත්තෙමු. ඒ ගැන තර්කයක් නැත.

එහෙත්, අන්දමන් දූපත්වල කැළඹීමකින් කඩා වදින සුනාමියක් සේ කරන ත්‍රාඩ 'කැත වර්ජන'වලට අපි ඉඳුරාම එරෙහි වෙමු.

රටක ආරථිකය, සංචාරක ව්‍යාපාරය, බැංකු හා මූල්‍ය ක්ෂේත්‍ර, එදිනෙදා ජන ජීවිත කනපිට හරවන්නට තරම් මේ වර්ජන හේතු වෙයි. පිළිගත් සම්ප්‍රදායන් නොතකා හැර, කිසිඳු පූර්ව දැනුම්දීමකින් තොරව කරන වර්ජන වනාහී අනපේක්ෂිත මොහොතක එල්ල කරන ලද පරමාණු බෝම්බ වැනිය. අත්කරන ප්‍රතිඵල බිහිසුණුය. ප්‍රචණ්ඩය.

දරුවාට පාසැල් පොතපත රැගෙන යන්නන්ද, එදිනෙදා වේලට අඩුම කුඩුම රැගෙන යන්නන්ද, එකම ඇඳුම සෝදා වේලා ගන්නට නිවසට දුවන්නන්ද, රාත්‍රී අනිවාර්ය ප්‍රෙෂර් පෙත්ත බොන්නට යන්නන්ද, අසාධ්‍ය රෝගී ස්වකීයයන්ට බෙහෙත් ටික රැගෙන යන්නන්ද ඈ නේක ජීවිත අරගල නඩත්තු කරන්නෝ මේ මගීන් අතර වෙති.

ජීවිතයේ තීරණාත්මක විභාගයක් සමඟ උසස් පෙළ ලියන දරුවන්ට සිදු කළ විපතම සොබාදහමෙන් උත්තර දෙනු ලබන මට්ටමේ එකකි. මානව හැඟීම් ගැන අංශුමාත්‍රයක තෙතමනයක් තිබුණා නම් මෙහෙම ගරිල්ලා වර්ජනයක් කරන්නේ නැත. දුෂ්ටම ආණ්ඩුවක් තිබියදී පවා, ශිෂ්ට වෘත්තීය සමිතියක් මෙහෙම පරමාණු අතාරින්නේ නැත.

වර්ජනය කරනු තබා ඊට කැස කවන්නන්ව ගෙන්වා මුෂ්ටි ප්‍රහාර එල්ල කළ පාලකයින් සිටි යුගයක් පසු කොට අපි පැමිණ සිටිමු.

වර්ජනය උදෙසා පවත්නා වටිනාකම, සහමුලින්ම නැතිකොට දමන්නට 8 වෙනිදා කළ 'කැත වර්ජනය' සමත් විය. පීඩාවට පත් ජනතාව සිහිපත් කළේ වර්ජකයින්ගේ දෙමාපියන්වය. ඉතිහාසයේ ප්‍රථම වතාවට ජනතාව වර්ජකයින්ව වටලනු ලැබූහ.

පෙර පැවැති පාලන සමයන් තුළ සිය වෘත්තීය අයිතිවාසිකම් දිනා ගැනීම උදෙසා වර්ජන, පිකටින් උද්ඝෝෂණ ආදී වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළැඹුණු වෘත්තීය සමිති නායකයින් දැඩි මර්දනයකට ලක්විය. එය මානසික සහ ශාරීරික පීඩාවන් දක්වාම ව්‍යාප්ත විය. ඇතැම් අවස්ථාවල වෘත්තීය අරගලවල නිරත වුණු විවිධ ක්ෂේත්‍රයන්හි පුද්ගලයන්ට මරණයෙන් පවා වන්දි ගෙවීමට සිදුවිය. සහජීවනය, යහපැවැත්ම, භාෂණයේ සේම ලේඛනයේ නිදහස යනාදී සකල නිදහස් අවකාශයන් හිමිවූ තත්ත්වයක් යටතේ එය වගකීමෙන් පාවිච්චි නොකිරීමේ හොඳම ආදර්ශය දුම්රිය වර්ජනයය.

'මම රටවල් විස්සකට විතර ගිහින් තියෙනවා. මෙහෙම නිදහස් රටකුත් නෑ...මෙහෙම වගකීමක් නැති සේවකයෝ ඉන්න රටකුත් නෑ'

දුම්රිය වර්ජනයට මැදි වූ සංචාරකයෙක් කීවේ එවැන්නකි.

"මේක කාඩ් සෙල්ලමක් නෙමෙයි. මේ ඔබේත් මගේත් ජීවිතය. මේ රට ගොඩනගන්න මම මගේ මුළු ජීවිත කාලයම කැප කළා. මම ඉන්නකම් කාටවත් මේක වට්ටන්න දෙන්නේ නැහැ”.

අසාධාරණ වර්ජනයක් ආසන්න වෙත්ම ලී ක්වාන් යූ කීවේය.

ආණ්ඩුව තීන්දුව ගත යුතුය. නැතිනම් වර්ජකයින් ගැන ජනතාව තීන්දු ගනු ඇත. කොටුව දුම්රියපොළේදී වුණේ එහි දෙවැන්නය.

මාතෘකා