විනිසුරුවන් විශේෂ ද?

විනිසුරුවන් විශේෂ ද?

අධිකරණ විනිසුරුකරුවන්ගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් සම්බන්ධයෙන් මේ වනවිට සංවාදයක් නිර්මාණය වී තිබේ. අධිකරණ විනිසුරුකරුවන්ගේ වැටුප් තලයට සමාන වන ලෙස පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගේ වැටුප් පරිමාණය සැකසීම මෙරට කලක් පටන් පවත්වා ගත් සම්ප්‍රදාය විය. සම්ප්‍රදායට අනුගමනය කරනවා මිස, එය ප්‍රශ්න නොකරන සමාජයක් කෙදිනකවත් ඉදිරියට යන්නේ නැත. ඒ අනුව බලන කල මෙම වැටුප් සංශෝධනයට පොදු සමාජයෙන් එල්ල වූ විරෝධය සහ ඒ හරහා ගොඩනැඟුණ සමාජ විරෝධය ඉදිරිගාමීය.

මේ මතය තහවුරු කරන ආකාරයේ ප්‍රකාශයක් පෙරේදා (7) මුදල් අමාත්‍යාංශය පවසා තිබේ. එම ප්‍රකාශයට අනුව විනිසුරුකරුවන්ගේ සහ අනෙක් රාජ්‍යය නිලධාරීන්ගේ වැටුප් සංසන්ධනයක් කළ නොහැක. නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යාංශය පවසා ඇත්තේ, වැටුප් සහ වෙනත් පහසුකම් පිළිබඳ සැලකීමේදී අධිකරණ නිලධාරීන් වෙනම ප්‍රභේදයකට ගෙන සැලකීමට මේ වසරේ ජනවාරි 9 වැනි දින කැබිනට් මණ්ඩලය තීරණයක් ගත් බවයි.

අධිකරණයේ, නීති දෙපාර්තමේන්තුවේ සහ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ සේවය කරන නිලධාරීන් හට ඔවුන්ගේ පුද්ගලික හැකියාවන්හි වැඩ කටයුතු කිරීමෙන් විශාල ආදායම් ලැබීමේ හැකියාව ඇති බව ප්‍රායෝගික සත්‍යය වේ. නමුත් රටේ පාලනයේ ප්‍රධාන පාදම් තුනෙන් එකක් වන අධිකරණයේ කාර්යක්ෂමභාවය සහ ස්වාධීනත්වය රැකීම සඳහා ඔවුන්ව මෙම දෙපාර්තමේන්තුවල සේවයට ආකර්ෂණය කරගැනීමේ අවශ්‍යතාව ඇත. මේ හේතුව නිසා ජනවාරි මස 9 වන දින කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත්තේ 2006 වර්ෂයේදී විනිසුරුවරුන් වැටුප්තල සමඟ සමපාත කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් තීරණය කිරීමේ යෝජනාව අහෝසි කිරීමටය.

තර්කානුකූලව මේ දෙස බලන ඕනෑම අයෙකුට මෙහි සාධාරණත්වය පැහැදිලි කර ගත හැක.

උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් අතිවිශේෂ කුසලතා දැක්වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෛද්‍ය විද්‍යාලය තුළත්, ඉන් අනතුරුව දිගු කාලසීමාවක් තුළ දැඩි කැප කිරීම් මධ්‍යයේ අවසන් විභාගය තෙක් අධ්‍යාපන ලබා සිමාවාසික පුහුණුවත් අවසන් කොට වෛද්‍ය නිලධාරිහු ලෙස සේවයට එක් වෙති. එමෙන්ම නීති ක්ෂේත්‍රය තුළත් අධිකරණ විනිසුරුවරුන් දක්වා ගමන කෙටි කාලීන හෝ පහසු නොවේ. නීති විද්‍යාලයේ සිට කනිෂ්ඨ නීතිවේදියෙකු ලෙස පහළ උසාවිවල පුහුණුවීම් කර, මහේස්ත්‍රාත්වරයෙකු දක්වා ගමන දැඩි කැප කිරීම් කළ යුතු අසීරු කාර්යයකි.

ශ්‍රී ලංකාව තුළ ව්‍යවස්ථාදායක සභාවට තේරී පත්වීමේ ක්‍රියාවලිය මීට වඩා හාත්පසින්ම වෙනස්ය. විය යුත්තේ හැකියාව, දක්ෂතා, දැනුම සමඟ නිවැරදි ආකල්පවලින් පිරි පුද්ගලයන් පාර්ලිමේන්තුවේ බහුතරය බවට පත් වීම වුවද මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වීමේ ගමන්මග සැකසී ඇත්තේ මීට හාත්පසින්ම පරස්පර අයුරිනි. අධ්‍යාපන සුදුසුකම් හෝ වෙනස් විශේෂ හැකියාවන් වෙනුවට, බාහු බලය පෙන්වීමේ හැකියාවට හෝ කුමන හෝ පක්ෂයක නායකයෙකු ලෙස ඉස්මතු වී පෙනීමේ හැකියාවට වැඩි අවස්ථාව ලැබීම මෙරට ස්වභාවයයි. විශේෂයෙන් ඊනියා 'දේශප්‍රේමී' ප්‍රභේදය දක්වා තමන්ව ඔසවා තබා ගන්න දේශපාලඥයන්ගෙන් මෙවැන්නක් සුලබව දක්නට ලැබේ.

තවත් අංශ කිහිපයකින් විමසා බැලීමේදී ද විනිසුරුකරුවන්ට අනන්‍ය ලක්ෂණ පවතී.

ඉතා දැඩි සහ සෘජු නීති රීති පද්ධතියක් තුළ සහ දීර්ඝ ක්‍රියාදාමයක් තුළ මහජන ජීවිතයට බලපාන තීන්දු ලබාදීමේ වගකීම අධිකරණ නිලධාරීන්ට පැවරෙන අතර, රාජකාරිමය වගකීම නිවැරදිව ඉටු නොකිරීම ඔවුන්ගේ අවංකත්වය ප්‍රශ්නයට නගයි. එය ඔවුන්ගේ රාජකාරි ජීවිතයට බලපාන ප්‍රමාණය සුළුපටු නොවේ. නමුත් මහජන නියෝජිතයන් විෂයයෙහි මේ තත්ත්වය ඉඳුරාම වෙනස්ය. මෙරට දේශපාලඥයාගේ අවංකභාවය මහජනයාගේ ප්‍රශ්නයට නොනැඟෙන තරමටම හෑල්ලු වී තිබේ. වගකීම් පැහැර හැරීම් ගණනකට නොගැනෙන අතර වගකීමක් ඉටුකිරීමම වර්ණනා කිරීමට තරම් හේතුවක් වී ඇත. එවන් පසුබිමක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සහ අධිකරණ විනිසුරුකරුවා එකම වැටුප් දීමනා තලයක තැබීමට 2006දී යෝජනා වීමම ගැටලු සහගතය.

විශේෂ අධිකරණ පනවමින්, අධිකරණය තුළදීම අධිකරණයට අපහාස කළ පුද්ගලයන්ට එරෙහිව නීතිය සෘජුව සහ විනිවිදව ක්‍රියාත්මක වීමට ඉඩ හරිමින් අධිකරණයේ ස්වාධීනත්වය, ගරුත්වය සහ කාර්යක්ෂමභාවය ඉහළ නැංවීමට ක්‍රියා කරන සමයක මන්ත්‍රී සහ විනිසුරු වැටුප්තල සමාන කිරීමේ ඉල්ලීමම පසුගාමීත්වයකි.

මාතෘකා