බල පොරය

බල පොරය

පොහොට්ටුව විපක්ෂ නායක ධුරය පිළිබඳව බල අරගලයක යෙදෙමින් සිටියදී ආර්. සම්බන්දන් මහතා තවදුරටත් විපක්ෂ නායක ලෙස සිටිය යුතු යැයි සංධානය තීන්දුවකට පැමිණ සිටී. මේ වනාහී ඔවුන් ගත් අතිශය ප්‍රශස්ත සහ කාලෝචිත තීන්දුවකි.

ජාතික සංහිඳියාව සහ යහපැවැත්ම අරමුණු කොටගෙන බිහි වූ නව පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ලෙස සම්බන්දන්ගේ පත්වීමම රටේ සාමය සංහිඳියාව අගය කරන යුක්තිගරුක මිනිසුන්ගේ් හදවත්වල නවමු අපේක්ෂා දල්වන්නක් විය. වෙන් වන්නට කැස කැවූ රටක මිනිසුන් එක්වීම වෙනුවෙන් කරනු ලැබූ බලවත්ම ප්‍රයත්නය වන්නේ පාර්ලිමේන්තුවේ බල තුලනය 'සංහිඳියාවකට' හරවාලීමයි.

ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන රාමුවක් තුළ විපක්ෂ නායකයා යනු රටේ දෙවන අගමැති ලෙසද, දුම්රියේ දෙවන ඇන්ජිම ලෙසද අර්ථ දක්වනු ලැබේ.

සම්බන්දන් යනු මෙරට සිටින ජ්‍යේෂ්ඨතම සහ පරිණතම දේශපාලනඥයා ය. ඔහු වෙනුවට ඒකාබද්ධ විපක්ෂය යෝජනා කළ දෙදෙනා ඔහුට අලගු තබන්නටවත් නොහැකි තරම්ය. ජාතිවාදී නොවන ස්ථාවරයක පිහිටා කටයුතු කරමින්ද, ව්‍යවස්ථා සම්පාදනයේදී ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ සම්මුති ආරක්ෂා කිරීම යනාදී කරුණුවලට සක්‍රීයව දායක වෙමින්ද ඔහු ඉටු කරන භූමිකාව බෙහෙවින්ම ප්‍රශංසා කටයුතුය. දෙමළ දේශපාලන පක්ෂයක නායකයකුට විපක්ෂ නායක ධුරය හිමි වීම වරදක් බවට කෑමොර දුන් ඒකාබද්ධය මුල සිටම වෑයම් කළේ 'තමන්ට ගැළපෙන'කෙනෙක් ඊට පත් කරගන්නටය.

'දෙමළෙකුට විපක්ෂ නායකකම දුන්නා' යැයි කෑමොර දෙමින් ඔහුව ඉන් නෙරපන්නට වලි කෑවේ මහින්දවාදීන්ය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් දිවුරුම් දෙන සෑම මන්ත්‍රීවරයෙක්ම දිවුරුම් දීම සිදු කරනුයේ “............ වන මම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කරන බවට / ගෞරව බහුමානයෙන් යුක්තව ප්‍රතිඥා දෙමි/දිවුරුම් දෙමි.” යනුවෙන් පොරොන්දු වෙමිනි. එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය ආරම්භ වන්නේ,

1. ශ්‍රී ලංකාව නිදහස්, ස්වෛරී, ස්වාධීන, ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයකි. ශ්‍රී ලංකාව, ශ්‍රී ලංකා ප්‍රජාතාන්තික සමාජවාදී ජනරජය යනුවෙන් හඳුන්වනු ලැබේ.

2. ශ්‍රී ලංකා ජනරජය ඒකීය රජයකි.

ලෙසය. ඉහත දිවුරුම දෙන කිසිදු මන්ත්‍රීවරයකුට ශ්‍රී ලංකාව බෙදා වෙන් කරන කිසිදු දෙයකට සම්බන්ධ විය නොහැකිය. මේ සත්‍ය දැනගෙනම ඒකාබද්ධය එදා සම්බන්දන් පත් කිරීමට එරෙහිව අවි එසවීය. අවස්ථාවාදය සහ දේශපාලන නොහික්මුණුකම එයයි.

1977 අගෝස්තු 4 වැනිදා ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක අප්පාපිල්ලෙයි අමිර්තලිංගම් ලංකාවේ විපක්‍ෂ නායක බවට පත් විය. ඉන් මෙපිට දශක හතරකට කිට්ටු කාලයක් දෙමළ නායකයෙකුට විපක්ෂ නායක ධුරයක් ලැබුණේ නැත. තට්ටු මාරු දේශපාලනයෙන් උරුම කළේ එවැනි ව්‍යසනයකි. එය වෙනස් කළේ 'යහපාලන'ආණ්ඩුවය.

1977 ජුලි 21 පැවැති මහ මැතිවරණයෙන් එ.ජා. පක්‍ෂය මන්ත්‍රී ධුර 140ක්‌ ජය ලැබීය. දෙවනුවට වැඩිම මන්ත්‍රී ධුර සංඛ්‍යාව වූ මන්ත්‍රී ධුර 18 ලැබූ ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණට විපක්‍ෂ නායක ධුරය හිමි විය. බලයේ සිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට හිමි වූයේ ආසන 08 කි. ඒ අනුව ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණේ ඒ. අමිර්තලිංගම් මහතා විපක්‍ෂ නායක ධුරයට පත් විය. ඔහු 1977 සිට 1983 දක්‌වා විපක්‍ෂ නායක ධුරය දරන ලද්දේය. ලංකාවේ සුළු ජාතික පක්‍ෂයකට විපක්‍ෂ නායක ධුරය හිමි වූ ප්‍රථම අවස්‌ථාව මෙය විය.

ඊට පසු එකී අවස්ථාව ලැබුණේ ආර්. සම්බන්දන්ටය.

ඒකාබද්ධය තර්ක කරන්නේ ඔහුගේ පක්ෂය දෙවැනි බහුතර ආසන ලද පක්ෂය නොවේ කියාය. ඉතිහාසයේ පළමු වරට ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක සම්මුති ආණ්ඩුවක් පිහිටුවීය. එවිට ඊළඟ වැඩිම ආසන තිබුණේ සම්බන්දන්ටය.

පසුව කොටසක් ඒකාබද්ධය වූවාට කුමක් කරන්නද? අනෙක් අතට, ඒ ඒකාබද්ධ කල්ලියත් විපක්ෂ නායකවරු දෙදෙනෙක් ඉල්ලන කල කළ හැක්කේ කුමක්ද?

මේ මොහොතේ වඩා වටින්නේ රටට ජයග්‍රහණ අත්කර දීම විනා 'නාඩගම් නැටීම' නොවන බව ඔවුන් තේරුම් ගන්නේ නම් මැනැවි.

මාතෘකා