තිරසර දැක්මක අවශ්‍යතාව | ඇස පාදන රැස


තිරසර දැක්මක අවශ්‍යතාව

තිරසර දැක්මක අවශ්‍යතාව

ශ්‍රී ලංකාව තුළ තිරසර සංවර්ධනය සඳහා ජාතික වැඩපිළිවෙලක් සකස් කිරීමේ තීන්දුව කාලෝචිත එකකි. මේ සම්බන්ධයෙන් පත් කළ විද්වතුන් 43 දෙනාගේ වාර්තාව 6 වැනිදා එලි දැක්විණ. ආර්ථිකය, සමාජය හා පරිසරය යන අංශත්‍රයෙන් සැලැස්මක් සකස් කිරීමට නියමිතය. එය බැරෑරුම් කටයුත්තකි. ජාතික වගකීමකි. මේ පිළිබඳ නොසැලකිල්ලෙන් වැඩ කිරීම නිසා රට සංවර්ධනය කිරීමට යොදවන ලද භෞතික හා මානව සම්පත්වලින් නිසි පල නොලැබුණු බව දශක කිහිපයක අත්දැකීම් අනුව පෙනේ.

තිරසර සංවර්ධනය (sustainable development) හෙවත් ධරණීය සංවර්ධනය පිළිබඳ කතිකාවතක් මීට කලකට පෙර ලෝක මට්ටමින් දියත් වූයේ මිනිසා සොබාදහමෙහි පාලකයා යැයි සිතා කටයුතු කිරීමෙන් ඇතිවූ ප්‍රතිපල ඔස්සේය. මිනිසා සොබාදහමෙහි කොටස්කරුවකු මිස එහි පාලකයා නොවේය යන වැටහීම ඇති වූයේ බොහෝ වැරදීම්වලින් අනතුරුවය.

යුරෝපානු ජාතික මහජන නියෝජිතයකු, දක්ෂ ව්‍යාපාරිකයකු හා විද්වතකු වන ජේම්ස් ගෝල්ඩ්ස්මිත් ලියූ trap (උගුල) කෘතිය මහා පරිමාණ කෘෂිකර්මාන්තයේ කෘෂි රසායන අධියෙදවුම් නිසා ඇතිවූ හානිය පිළිබඳ ලෝක මතයක් ඇති කිරීමට බලපෑවේය. ඇමරිකානු විද්‍යාඥවරියක වන රැචල් කාසන් ලියූ silent spring (වසන්තය නිහඬයි) කෘතිය, ෂුමාකර් ලියූ පුංචි නම් ලස්සනයි කෘතිය තවත් වැදගත් කෘති දෙකකි. ඉන්දියානු විද්වතකු වන වන්දනා ශිවා ප්‍රමුඛව විශාල පිරිසක් විසින් මේ කතිකාවත පෝෂණය කරනු ලැබ තිබේ.

තිරසාර සංවර්ධනය පෙරදිග සම්ප්‍රදායන්ට ආවේණික වූවකි. අපරදිගටද එවැනි අතීතයක් විය. මහපොළොව සරුපසක් බවට පත් කිරීමට මුල්වූ ස්වාභාවික නගුල් තල හතර හෙවත් ස්ථර හතරක ජීවත් වන ගැඩවිලුන් විස වැස්සෙන් එලොව යැවීම තිරසාර සංවර්ධනය විනාශ කිරීමේ මුල් පියවර විය.

මහ පොළොවට අසීමිතව හිරිහැර කිරීම බිහිසුණු ප්‍රතිවිපාක ගෙන දෙයි. ගහකොළ, මහපොළොව, සතා සීපාවාට වෙන වෙනම පැවැත්මක් නැත. මේ එකම පද්ධතියක කොටස්කාරයෝය. මේ පිළිබඳ ඉවකින් කටයුතු කිරීම නිසා අතීතයෙහි දියුණු ශිෂ්ටාචාර ගොඩ නැගිණ.

වත්මනෙහි ලංකාව ඇතුළු ලොව බොහෝ රටවලට සිදුව ඇත්තේ සංවර්ධනය මුවාවෙන් මිරිඟුවක් පසුපස දිවීමටය. ශ්‍රී ලංකාව වැනි තිරසර සංවර්ධනයේ පැරණි උරුමයක් සහිත රටකට තමන් යන මග පහසුවෙන් වෙනස් කළ හැකිය. ඒ සඳහා ගත යුතු පළමු පියවර වන්නේ දරු පරපුර විනාශ කරන විභාග කේන්ද්‍රීය අධ්‍යාපනය වෙනස් කිරීමය. මිනිස් හැඟීම්, සංවේදනා මිරිකා හරින අධ්‍යාපනයෙන් රටට වැඩක් නැත.

මහපොළොව, ගහකොළ සතා සීපාවා හා පොළොවේ සුවඳ හඳුනන යහ ආකල්ප ඇති රටවැසියකු නිර්මාණය කළ හැක්කේ පවතින අධ්‍යාපනය කනපිට ගැස්සවීමෙනි. එහි මුල් පියවර ජාතික අධ්‍යාපන ආයතනයේ මෝල් පණ්ඩිතයන් ගැලපෙන වැඩවලට අනුයුක්ත කර මිනිස් හැඟීම් සහිත සැබෑ විද්වතුන් ඒ පුටුවලට පත් කිරීමය.

මාතෘකා