පනින්න පෙර | ඇස පාදන රැස


පනින්න පෙර

පනින්න පෙර

වැඩ වර්ජන පිළිබඳව වන 'තර්ජන' කිහිපයක් එල්ල වී තිබේ. ඒ තර්ජනයන්ට අනුව ඒවා සිදුවන්නේ නම් තවත් මිනිස් දින දහස් ගණනක් අපතේය. පුද්ගලයෙකුට ස්වකීය අයිතිවාසිකම් භුක්ති විඳින්නට තිබෙන අයිතිය ප්‍රශ්න කරන්නට හෝ පැහැර ගන්නට කිසිවෙකුටත් අයිතියක්ද නැත. එහෙත් ඒ අයිතිය 'සදාචාර' සීමාව ඉක්මවා යනවානම් එය අවාසනාවකි. හිතු මනාපෙට කරන වර්ජන විගඩමක් තරමට විහිළු ස්වරූපයක් ගෙන තිබේ.

වැඩවර්ජන සම්බන්ධව ලෝකයේ රටවල් විසින් ගනු ලබන ක්‍රියාමාර්ග විවිධය. වර්ජන සම්බන්ධව ප්‍රජාතන්ත්‍රවාදී රටකට තරම් නොවන, එහෙත් ප්‍රායෝගික තීන්දුවක් වරක් සිංගපූරුවේ අසහාය නායකයා වූ ලී ක්වාන් යූ විසින් ගනු ලැබීය.

1980 වසරේ මහ මැතිවරණය පැවැත්වීමට ඔන්න මෙන්න තිබියදී ‘සිංගප්පෝ එයාර්ලයින්ස්’ සමාගමේ ගුවන් නියමු සංවිධානය, වැඩ වර්ජනයක් දියත් කළේය. එය මාසයකට ආසන්න කාලයක් පැවැතියේය. ඒ සම්බන්ධයෙන් මැතිවරණ රැළියකදී අදහස් දක්වන සිංගප්පූරුවේ අගමැතිවරයා මෙසේ කියයි.

“මම ගුවන් නියමුවන් හමු වුණා. මම ඔවුන් හමු වුණේ රූපවාහිනියෙන් නෙමෙයි. මම මුහුණට මුහුණ ඔවුන් හමුවුණා. මේසයේ එක පැත්තකට ඔවුන්. එක පැත්තක මම. අපි දෙගොල්ලෝ හිටියේ අඩි පහක් දුරකින්. ඔවුන්ට මාව පේනවා. මට ඔවුන් පේනවා. ශක්තිමත් තවමත් සටන් කළ හැකි මා දෙස බැලීමට ඔවුන්ට හැකියාව ලැබුණා.

මා සමඟ සටන් කරනවාද නැතිනම් පරාජය බාරගන්නවාද කියා තීරණය කරන්න ඔවුන්ට අවස්ථාව තිබුණා.

මම ඔවුන්ට තෝරාගැනීම් දෙකක් දුන්නා. මේ තර්ජනය, (ඇත්ත වශයෙන්ම එය තර්ජනයක්) නවත්වනවාද? එහෙමත් නැතිනම් නැවතත් සේවයට එනවාද කියන තෝරාගැනීම් දෙක මම ඔවුන්ට දුන්නා. මම ඔවුන්ට තෝරාගැනීමක් කරන්න අවස්ථාවක් දුන්නා.

සති දෙකක් තිස්සේ වැඩ වර්ජනයේ යෙදෙමින්, ගුවන් ගමන් අඩාළ කරමින්, ඇමෙරිකානු ඩොලර් මිලියන ගණනක මුදල්, දැන්වීම් සඳහා වියදම් කරන ලද මුදල් සියල්ල මේ වර්ජනය විසින් විනාශ කරනු ලැබුවා.

මේ වැඩවර්ජනය සියල්ල විනාශ කළා.

ඔබ කැමතිනම් මෙය දිගටම කරගෙන යන්න. එහෙම වුණොත් මම මට හැකි උපරිමයෙන්, හැකි සියලු වෙර දරා, ඔබට හොඳ පාඩමක් උගන්වනවා. සිංගප්පූරු ජනතාවගේ උදවු ඇතිව ඔබට ජීවිතයට අමතක නොවන පාඩමක් උගන්වනවා යයි මා ඔවුන්ට කියා සිටියා. එය නැවත නැවත කීමට මා සූදානමින් සිටියා.

එසේ නැති නම් මේ වර්ජනය නැවැත්විය යුතුයි.

මා සියල්ලටම සූදානමින් සිටියේ. මා ඔවුන්ට දුන් අනෙක් තෝරාගැනීම මේකයි.

එහෙම නැතිනම් ඔය වර්ජනය නවත්වලා, නැවත වැඩ කරන්න. වැඩ කරමින් ප්‍රශ්නය සාකච්ඡාවට ගනිමු. විනයගරුක වෙන්න. ඉන් පස්සේ මා සමඟ සාකච්ඡා කරන්න යයි මා ඔවුන්ට කියා සිටියා.

සටන් කිරීමෙන් පලක් නැති බව ඔවුන්ට තේරුණා. ඒ නිසා ඔවුන් විනාඩි 65කදී තීරණයක් ගත්තා. ඔවුන් තේරුම් ගත්තා ඔවුන් නොමැතිව ගුවන් සේවය කරගෙන යන බව. ඔවුන් නීතිය දැනගත්තා. ගුවන් සේවය ක්‍රියාත්මක කරගෙන යෑමට මට හැකියාව තිබෙන බව ඔවුන් තේරුම් ගත්තා.

සිංගප්පූරුව පාලනය කරන ඕනෑම නායකයකුට

ඒ ශක්තිය තිබිය යුතුයි. රට කරගෙන යා යුතුයි. වැරදි වෙන්න බැහැ. බැරි නම් දාලා යන්න ඕනේ.

මේක කාඩ් සෙල්ලමක් නෙමෙයි. මේ ඔබේත් මගේත් ජීවිතය. මේ රට ගොඩනගන්න මම මගේ මුළු ජීවිත කාලයම කැප කළා. මම ඉන්නකම් කාටවත් මේක වට්ටන්න දෙන්නේ නැහැ”.

අද තිබෙන සිංගප්පූරුව හැදුණේ එහෙමය. එහෙත් එහෙම කළ යුතු යැයි අප නිකමටවත් යෝජනා කරන්නේ නැත. එහෙත් නිස්කාරණේ වැඩ වරන්නන් ඒ ගැනත් දැන සිටීම වටී. ඒ කතාව දුර වැඩිනම් මීට වසර තුනකට පෙර වර්ජනවලදී සිදූ වූ දෑ මතක් කර ගත්තානම් වටී.

මාතෘකා