එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා

ශ්‍රී ලාංකිකයන් තුළ අතීතයේ සිට පැවැත එන ව්‍යවසායකත්ව හැකියාව යළි අවදි කරවා ගැනීමට කාලය එළඹ ඇතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ටික දිනකට පෙර පැවසීය. ඒ එක්කම, අයවැයෙන් යෝජනා කළ එන්ටප්‍රයිස්‌ ශ්‍රී ලංකා වැඩසටහන යටතේ සෑම බැංකුවකම ව්‍යවසායකයන් වෙනුවෙන්ම වෙනම කවුන්ටරයක්‌ විවෘත කිරීමට ආණ්ඩුව කටයුතු කර තිබේ. මේ ඉදිරිගාමී කටයුතු පිළිබඳ කිසිවෙකුගේ සද්දයක් නැත. ආණ්ඩුව විසින් සිදුකරන නවතම ව්‍යාපෘති දෙක වන්නේ ගම්පෙරළිය සහ එන්ටප්‍රයිස් ශ්‍රී ලංකාය. ඒ අනුව එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා යනු ව්‍යවසායකයින් බිහි කිරීමේ ප්‍රශස්ථ වැඩ සටහනකි. ඒ හරහා මෙරට නව නිපැයුම්කරුවන් කෙරෙහිද අවධානය යොමු කිරීම අගනේය.

ඕස්ට්‍රේලියාවේ උපත ලද ප්‍රංශ නිමැවුම්කරුවෙකු වන ෆ්‍රාන්ස් සිය විවේක කාලය ගත කළේ පියාඹන පැරිෂුටයක් නිර්මාණය කිරීමටය. අවාසනාවකට එම පැරිෂුටය අත්හදා බැලීම සඳහා අයිෆල් කුලුනේ සිට බිමට පනින අවස්ථාවේදී පැරිෂුටය ක්‍රියාත්මක නොවීම නිසා ඔහු එතැනම මිය ගියේය. මාරි කියුරි විකිරණ ශිල්පය පිළිබඳ පර්යේෂණ කළ රසායන විද්‍යාඥවරියකි. පොලෝනියම් හා රේඩියම් යන මූලද්‍රව්‍ය සොයාගැනීම පිළිබඳවත් විකිරණශීලතාව පිළිබඳ මූලද්‍රව්‍ය හඳුන්වාදීම පිළිබඳවත් ඇයට ගෞරවය හිමි විය. කෙසේ වෙතත් 1934 දී විකිරණ ශරීරගත වීම නිසා ඇති වන Aplastic Anemia නම් රෝගී තත්වය නිසා ඇය ජීවිතක්ෂයට පත් විය. ඒ අනුව බැලූ විට නව නිපැයුම් කිරීම බෙහෙවින්ම අසීරු ක්‍රියාවලියකි.

නව නිපැයුම් යනු ලොව නව මාවතකට රැගෙන යන මිනිසුන්ගේ අපිරිමිත කැපකිරීමකින් ලබන ප්‍රතිඵලය. එදා මෙදා තුර මානව සංහතියේ චිර පැවැත්ම උදෙසා නව නිපැයුම් තුළින් ලද පන්නරය අති මහත්ය.

වත්මන් ශ්‍රී ලාංකේය සමාජය බෙහෙවින් පසුගාමී බවත්, ඉදිකටුවක්වත් නිෂ්පාදනය කිරීමේ හැකියාවක් නොමැති බවත් ඇතැමුන් කලක සිට නැගූ අඳෝනාවකි. එකී අඳෝනාව සත්‍යයක් වන තරමටම තත්ත්වය කනගාටුදායක වූයේ සත්‍ය වශයෙන්ම එවැනි නිපැයුම්වලින් බොහෝ දෙනා දුරස් වූ නිසාය. එහෙත් ඉතිහාසය ඊට වඩා හාත්පසින්ම වෙනස්ය. මෙරටට තරම් විශ්මිත වාරි තාක්ෂණයක් කිසිවෙකුට තිබුණේ නැත. මෙරටට අනගි සිතුවම් කලාවක්, ගොවිතැන් කලාවක්, නව නිපැයුම් කලාවක් තිබිණි. අරුම පුදුම තාක්ෂණයක් තුළින් සැකසුණු සීගිරිය නූතන ලෝකය පවා විශ්මයට පත්කරවන සුලුය. කෙසේ වෙතත් කාලානුරූපීව මෙරටින් මෙකී හැකියාවන් ක්ෂය වී ගොස් තිබේ. නො එසේනම්, එවැනි හැකියාවන් ඔප්නැංවීමට අවැසි සහයක් නොලැබී ගොස් තිබේ. එහෙත්, සියලු පීඩාවන් මැද වුවත් අප්‍රමාණ කැපවීමෙන් කටයුතු කොට නව නිපැයුම් කරන අතළොස්සක් මෙරට තවමත් ඉතිරිව සිටී.

අවශ්‍ය වන්නේ ඔවුනට පෙරට එන්නට අත දීමය. රටේ සම්පත්වලින් උපරිම ඵල නෙළා ගැනීම සඳහා නව නිපැයුම් කෙරේ යොමු විය යුතු බවට තර්කයක් නැත.

නව නිපැයුම් සහ තාක්ෂණය සමඟ කටයුතු කරන සියලු රටවල් ලොව ඉදිරියෙන්ම සිටින රාජ්‍යයන් බවට පත්ව තිබේ. ඊශ්‍රායලය ලොකයේ ඇති පැරණිම වගේම නවතම රාජ්‍යයක් ලෙස හඳුන්වාදිය හැකි රටකි.

එතෙක් මෙතෙක් ලොව අරුම පුදුම තාක්ෂණික නිෂ්පාදන ගොන්නක පේටන්ට් අයිතිය හිමි වන්නේ මේ කුඩා රටේ මිනිසුන්ටය. හතරවටින් එන ආක්‍රමණ සියල්ල ආපසු හැරවිය හැකි ශූර යුද කලාවක් ඔවුන් සතුය. නවීන තාක්ෂණය මොනවට යොදාගෙන කාන්තාර බිමක වගා කිරීමට තරම් ඔවුන් නවීනත්වයෙන් පිරිපුන්ය. මුහුදු ජලය බීමට හැකි ලෙස සකසා ලෝකයට අලෙවි කිරීමට තරම් ඔවුන් දක්ෂය. මේ සියල්ල වෙනුවෙන් ඔවුන්ගේ ආණ්ඩු ලබා දෙන සහය අති විශාලය. ඔවුන් තවමත් සොයා ගෙන නැත්තේ 'අමරණීය වීමේ ප්‍රතිකාරය' පමණක් බව කියවේ. ලොව පවත්නා ඉතාම කුඩා රටක් දුෂ්කරතා ජය ගන්නේ එසේය. ඒ අතින් ගත් කල ශ්‍රී ලංකාව සොබාවික සම්පත් අතින් සශ්‍රීක බිමකි. නොකළ හැක්කක් නැති තරමට සම්පත් මේ කොදෙව්වේ ඇත. අවැසි වන්නේ මඟ පෙන්වීම හා දිරි දීමය.

මෑත අවස්ථා කිහිපයකදීම මෙරට නව නිපැයුම්කරුවන් 'නව නිෂ්පාදන' සිදු කළ අවස්ථා අසන්නට ලැබිණි. එවැනි නව නිපැයුම්කරුවන් ආරක්ෂා කිරීම උදෙසා රජයේ මැදිහත් වීම අතිශයින් වැදගත්ය. විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශයට මෙවැනි කටයුතුවලදී අතිමහත් වගකීමක් පැවරේ. මක් නිසාදයත් රටක ප්‍රගමනයට සේම ලෝකයේ චිර පැවැත්ම උදෙසා නව නිපැයුම් සිදු කරන්නන් අනගි මෙහෙවරක් ඉටු කරන නිසාය.

මාතෘකා