හදවත නොනවතිනු පිණිස | ඇස පාදන රැස


හදවත නොනවතිනු පිණිස

හදවත නොනවතිනු පිණිස

උරස් කුහරය තුළ පිහිටා ඇති හෘදය පුද්ගලයෙකු දකුණු අත මිට මෙළවූ විට ලැබෙන පරිමාවට සමාන යැයි කිව හැකිය. එමෙන්ම වැඩුණු පුද්ගලයෙකුගේ හෘදය ග්‍රෑම් 300 ක් පමණ වේ. දිනකට ඔබේ හදවත ගැස්සෙන වාර ගණන ලක්‍ෂයකට වඩා වැඩිය. එය ජීවත් වන තුරා නොනැවතී ක්‍රියා කරයි. එය දිනකට රුධිරය ලීටර් 8000 කට වැඩි ප්‍රමාණයක් ගමන් කරවන මර්මස්ථානයද වෙයි.

ජීවිතයේ පැවැත්ම උදෙසා හෘදයට හිමිවන්නේ සුවිශේෂ තැනකි. හෘදය ලෙඩ වූවහොත් ලැබෙන ප්‍රතිඵලය භයානකය. වාර්තා වන භයානකම තත්ත්වය වන්නේ 'හදවත් රෝග' වලින් දිනකට ලංකාවේ පමණක් 150ට ආසන්න පිරිසක් මිය යාමය. හදවත ලෙඩ වී එතරම් පිරිසක් දිනකට මිය යාම...!

වර්තමානයේදී උපතින්ම ඇති වන (සංජානීය) හෘදයාබාධ තත්ත්වයන්ගෙන් යුක්ත දරුවන් ඉපදීමේ ප්‍රවණතාව වැඩි වී තිබේ. විශේෂයෙන්ම දරුවන්ට ඇති වන හදවත් සිදුරු හේතුවෙන් සංකීර්ණ ගැටලු තත්ත්වයන්ට මුහුණ දෙන දරුවෝ සැලකිය යුතු ප්‍රමාණයක් ජීවත් වෙති. මෙහි පවත්නා බරපතළම තත්ත්වය වන්නේ, ලංකාවේ අවුරුද්දකට ඉපදෙන දරුවන් තුන් ලක්ෂ හැටපන්දාහක් පමණ ප්‍රමාණයෙන් ළමයින් 2100 - 2900ක් අතර ප්‍රමාණයක් උපතින්ම ඇති වන හෘදයාබාධ සහිතව ඉපදීමය. දළ වශයෙන් දවසකට දරුවන් දාහක් ඉපදේ නම් එයින් හයකට හෝ අට දෙනෙකුට පමණ උපතින්ම ඇති වන හෘදයාබාධයක් තිබේ.

ජීවිත අහිමි වන හේතු බොහෝ පවතින බව සැබෑය. එහෙත් ස්වාභාවික මරණවලට ප්‍රධානම හේතුව වන්නේ හෘදරෝගය.

සාමාන්‍යයෙන් කියැවෙන්නේ මෙරට වෙළාගෙන සිටින මාරයා 'වකුගඩු'රෝගය කියාය. එහෙත් එයින් දිනකට මිය යන්නේ රෝගීන් තිදෙනෙකු වැනි ප්‍රමාණයක්ය.

එහෙම බැලූ විට වකුගඩු රෝගයට සාපේක්ෂව විශාල ප්‍රමාණයක් හෘදරෝග නිසා මිය යයි. ලෝකයේ ඕනෑම රටක ස්වාභාවික මරණ සඳහා ප්‍රධාන හේතුව හෘද රෝග වෙයි.

හදවතට රුධිරය සපයන ධමනි නාල හෙවත් කිරීටක ධමනි තුළ මේදය (තෙල්) තැන්පත් වීමෙන් එම ධමනි නල ඇතුළත රුධිරය ගලා යාමට ඇති ඉඩකඩ ඇහිරෙයි. එසේ තෙල් තැන්පත් වීමෙන් ධමනි බිත්ති පටු වීමෙන් පසු කලෙක ඒ නාල තුළ රුධිරය කැටි ගැසීමක් ඇති වේ. එසේ කිරීටක ධමනියක් තුළ රුධිර කැටියක් ඇති වූ විට හෘදය වස්තුව වෙත රුධිරය සැපැයුම අඩාළ වෙයි. එහෙයින් එම රුධිර කැටියෙන් උවදුරට පත් හෘදය ප්‍රදේශය මිය යයි. ඒ තත්ත්වය හැඳින්වෙනුයේ හෘදයාබාධයක් ලෙසයි.

රුධිර නාල තුළ ඇති වූ තෙල් තැන්පතු හදිසියේම පිපිරීමට ලක් වෙයි. පිපිරුණු තෙල් තැන්පතුවක් මත රුධිරය වහාම කැටි ගැසෙයි. ඒ සඳහා තත්පර කිහිපයකට වඩා ගත නොවේ. ක්‍ෂණික හෘදයාබාධයක් යනුවෙන් හැඳින්වෙනුයේ එම තත්ත්වයයි. බොහෝ විට එවැනි ක්‍ෂණික හෘදයාබාධයක් හටගන්නා රෝගීන්ගෙන් 60% ක් පමණ ඊට පෙර පපුවේ වේදනාවක් හෝ හෘදයාබාධයක පෙර ලකුණු පහළ නොකරති.

වර්තමානයේ සෞඛ්‍ය සේවය ප්‍රශස්ත ලෙස පෙරට පැමිණ ඇතත් මෙවැනි අවාසනාවන්ත තත්ත්වයන් ඉහළ යන්නට ජන ජීවිතවල ඇවැතුම් පැවැතුම්ද හේතු වී තිබේ.

කෙටි කෑම රටාව, ව්‍යායාමවලින් තොර වීම, කාර්යබහුල මානසික තත්ත්වය යනාදී බොහෝ දෑ මිනිසාගේ ජීවිත පැවැත්ම සමඟ 'රණ්ඩු' කරමින් සිටී.

ජීවිතයක් ලැබෙනුයේ කලාතුරකිනි. එය රැක ගැනීම වෙනුවෙන් 'හදවත' ගැන වෙනදාට වඩා සිතීම වටී. මක් නිසාද යත් හදවත් ලෙඩ ඒ තරම්ම වැඩිය.

මාතෘකා