මහා භාරකාර දෙපාර්තමේතුවේ විනිවිද බව

මහා භාරකාර දෙපාර්තමේතුවේ විනිවිද බව

මහා භාරකාරවරයා යටතේ තිබූ අන්තිම කැමති පත්‍ර 254ක් මුද්‍රා ඉවත්කර අධිකරණය ඉදිරියේ විවෘත කරන මෙන් ලබා දුන් තීන්දුව ඉතා වැදගත් ය.1931 සිට 1992 දක්වා කාලයෙහි මහාභාරකාරවරයාගේ සේප්පුවෙහි මේවා තැන්පත්  කර තිබී ඇත. 
මහා භාරකාර දෙපාර්තමේන්තුව පවතින්නේ බුද්ධශාසන අමාත්‍යාංශය යටතේය. විවිධ පුද්ගලයන්ට භාර පිහිටුවීම සඳහා සහාය වීම මෙහි වගකීමයි. මෙවැනි භාර රු.5000 ක් හෝ ඊට වැඩි මුදලකින් ආරම්භ කළ හැකිය. ඉන් ලැබෙන පොලියෙන්  පුද්ගලික හෝ පොදු කටයුතු සඳහා මුදල් භාවිත කළ හැකිය. පුද්ගලික යනුවෙන් අදහස් කරන්නේ අන්තිම කැමති පත්‍රයෙන් නම් කරනු ලබන පුද්ගලයාය. 
පුද්ගලික භාර හා පොදු භාර යනුවෙන් දෙවර්ගයකි. අධ්‍යාපන, සමාජ, ආගමික සහ පුණ්‍ය කටයුතු පොදු භාරයට අයත්ය. කළුතර  රිච්මන්ඩ් කාසල් මන්දිරයෙහි පවත්වාගෙන ගෙන යනු ලබන ළමා අධ්‍යාපන ව්‍යාපෘතිය එන්. ඒ. ඩී. සිල්වා විසින් තම අන්තිම කැමති පත්‍රයෙන් පවරන ලද දේපළ මඟින් පවත්වාගෙන යනු ලැබේ.මෙබඳු භාර විශාල ගණනක් මහාභාරකාරවරයා යටතේ පවතී. රුපියල් බිලියන ගණනක් දේපළ පිළිබඳ වගකීම් දැරීමේදී විනිවිදභාවය ඉහළින් ම සහතික කළ යුතු වේ. මෙබඳු භාරවලදී වංචනිකයන්ට තම අරමුණු ඉටුකර ගැනීමට තිබෙන කවුළු වසා දැමිය යුතුය. එහෙත් එය එසේ නොවූ බව මෑත ඉතිහාසය සාක්ෂි දරයි. 
අන්තිම කැමති පත්‍රයකින් දේපළ පවරා මියගිය අයගේ  කැමැත්ත පරිදි එ් වගකීම ඉෂ්ට නොකිරීම මළවුන් හට ද කරන නින්දාවකි. එබඳු වංචා රැසක් පසුගිය කාලයෙහි සිදු ව ඇත. පසුගිය ආණ්ඩු පාලන සමයෙහි එහි රු. මිලියන 499ක මූල්‍ය වංචා සිදුවී ඇතැයි හිටපු අධිකරණ හා බුද්ධ ශාසන ඇමති  විජේදාස රාජපක්ෂ වරක් අනාවරණය කළේය. රු. මිලියන 370ක මුදලක් වැසී යෑමට ආසන්න ව තිබූ ප්‍රමුඛ බැංකුවේ තැන්පත් කිරීමෙන් මූල්‍ය අපහරණයක් සිදු කර තිබේ. මෙය දැනුවත් ව කරන ලද සොරකමකි. ඇතැම් භාරකරුවෝ මෙය පුද්ගලික බූදලයක් සේ සලකා කටයුතු කළහ. එබඳු  භාරකරුවන්ට ආරක්ෂාව දුන් පාලකයෝ ද සිටියහ. 
හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වාගේ ගජමිතුරු සරත් සෙනෙවිරත්න මහාභාරකාර ධුරය හෙබවු සමයෙහි මෙබඳු චෝදනා රැසක් එල්ල විය. කීර්තිමත් මහේස්ත්‍රාත්වරයකු වූ ජානක බණ්ඩාර මහාභාරකාර ධුරය හෙබවූ සමයෙහි විනිවිදභාවයකින් කටයුතු කළේය. ඔහුගේ පිළිවෙත නොරිස්සූ අගවිනිසුරු තම අන්තේවාසිකයකු ලවා රු. 300 කට ආසන්න මූල්‍ය වංචාවකට ව්‍යාජ ලෙස පටලවා ජානක බණ්ඩාර තනතුරෙන් පහ කළේ ය. වියරු ඒකාධිපති පාලනයට සරිලන කැකිල්ලේ අධිකරණයක් එකල ක්‍රියාත්මක විය.මේ සියලු කරුණු අනුව කිව හැක්කේ යහපාලන රජය යටතේ මහාභාරකාර දෙපාර්තමේතුවට බලපෑම්වලින් තොරව ක්‍රියාත්මක වීමේ අවස්ථාව ලැබී ඇති බවය. 
මහාභාරකාර දෙපාර්තමේන්තුව පවත්වා ගෙන යනු ලබන්නේ රාජ්‍ය මන්ත්‍රන සභාවේ නියෝජිතයකු හා කීර්තිමත් වියතකු වූ  ඩී. බී. ජයතිලක මහතාට අයත් දේපළකය. ඔහු තම දේපළ අන්තිම කැමති පත්‍රයෙන් පවරා ඇත්තේ පොදු කටයුතු සඳහා ය. මෙබඳු කීර්තිමත් පුද්ගලයන් තම මරණයෙන් පසුව සමාජය වෙනුවෙන් ඉතුරු කර තබා ගිය  දායාදය කිසිවකු විසින් වංචනිකව පුද්ගලිකව පරිහරණයට ගනු ලබන්නේ නම් එය දඬුවම් ලැබිය යුතු වරදකි. 
විශේෂ අපරාධ පොලිස් කොට්ඨාසයට මහා භාරකාර දෙපාර්තමේන්තුවේ මූල්‍ය වංචා පිළිබඳ ව ලැබී ඇති පැමිණිලි විභාග කර අවසන් වන දිනෙක මහජනයා මවිත කරවනසුලු මහා අපරාධයක් අනාවරණය වන බව නිසැකය. රාජාභිෂේක ලැබ සිටි ඇතැමුන්ගේ පාලනය යටතේ හෙංචයියන් කර ඇති අපරාධ එවිට රටට හෙළි වනු ඇත.

මාතෘකා