වෙසක් මිහිර

වෙසක් මිහිර

බුදුන්ගේ තෙමඟුල සැමරෙන වෙසක් උළෙලෙහි අසිරියෙන් රට ම ඇලළී ගොසිනි. අපේ රටේ ජාතික උත්සව අතරින් වෙසක් උත්සවය ප්‍රමුඛතම එකකි. එහි ආරම්භය හා විකාශනය පිළිබඳ ශාස්ත්‍රීය නිර්වචන සැපයීම විද්වතුන්ට ප්‍රියමනාප කාර්යයකි. අපට වැදගත් වනුයේ වෙසක් උළෙලෙහි සමාජීය අදාළත්වය කතා කිරීමය. 

සිංහලයන්ගේ ආර්ථිකය වැව් පදනම් කරගෙන සකස් වූයේ යම් සේද ඔවුන්ගේ ජීවන ශික්ෂාව සුමට වූයේ බුදුදහම පදනම් කරගෙනය. මහ ගත්කතුවර මාර්ටින් වික්‍රමසිංහ සිංහල බුදුසමය යනුවෙන් හඳුන්වන්නේ එයින් ජනිත වන අදහස් සමුදායකි. තම ශාස්තෘවරයාගේ ගුණ සිහිපත් කිරීම, එතුමන් සිහිපත් කරමින් ආගමික සංකේත වන්දනා කිරීම, සිද්ධස්ථාන නැරඹීමට යෑමෙන් පහන් සංවේගයක් ඇති කර ගැනීම, තොරණ, පහන්කූඩු හා වෙසක් සංදර්ශන නැරඹීමෙන් විනෝදයක් ලැබීම වශයෙන් වෙසක් උ‍ලෙළ විචිත්‍ර වෙයි. සිංහල බෞද්ධයන්ගේ සංස්කෘතික ජීවිතයෙහි වැදගත් කොටසක් වශයෙන් වෙසක් උළෙලහි අගය අඩු වී නොමැත. එමතු නොව වෙනත් ආගමිකයෝ ද පහන් කූඩු ආදිය නැරඹීමෙන් වින්දනයක් ලබති. කරුණු එසේ වුව ද සියල්ල වාණිජකරණයට ලක්වන සමයක බෞද්ධ උත්සවද එයින් මිදේ යැයි අපේක්ෂා කළ නොහැකිය. 

සිංහල අලුත් අවුරුද්ද වණික්  සංස්කෘතියෙහි ගොදුරක් බවට පත්ව ඇති අයුරු මීට පෙර ද සාකච්ඡාවට ලක් විය. සිංහල අවුරුදු උත්සවය අවසන් වූ වහාම ජනමාධ්‍ය ව්‍යාපාරික අනුග්‍රහය ඇතිව වෙසක් උලෙළ සමාජගත කිරීම අරඹයි. මෙය මසක් පුරා දිගු වෙමින් කන්කරච්චලයක් බවට පත්වන්නේ ඊනියා ජනමාධ්‍ය හා ව්‍යාපාරිකයන් අතර ඇති අන්‍යොන්‍ය යැපීම හේතුවෙනි. මින් වඩාත් ම හානි සිදුවන්නේ බුදුන් අනුදත් මැද පිළිවෙත අනුව සකස් වූ සිංහල බෞද්ධ ජනමනසටය. 

වෙසක් උළෙලට එක්වී ඇති ඇතැම් අංග බුද්ධ චරිතයට ද නිගා දෙනසුලුය. එමෙන්ම වෙසක් උළෙල අවසන් වු පසුව දිවයිනේ ප්‍රකට ආගමික ස්ථාන අවට පරිසරයට කර ඇති හානිය බලන විට බෞද්ධ සමාජයෙහි ශික්ෂණය පිළිබඳ විචිකිචාවක් ද ඇති වෙයි. ආගමික ස්ථාන අවට පරිසරයට එක්වී ඇති පොලිතින්, ප්ලාස්ටික් බෝතල් යනාදී අපද්‍රව්‍ය ඉවත් කිරීමට දින ගණනාවක් ගත වේ. 

දන්දීම යන සංකල්පයෙන් අදහස් වන්නේ තෘෂ්ණාව නොහොත් මමත්වය තුනී කිරීමය. අහරක් දියයුත්තේ සයින් පෙළෙන අයකුටය. පිරුණු බඩකට තවත් පිරවීම රෝගවීමට හේතුවක් විය හැකිය. වෙසක් උළෙල නිමිත්තෙන් හන්දියක් ගානේ වංගුවක් ගානේ පවත්වනු ලබන සිසිල් බීම හා ආහාර දන්සල් කරන්නන් වාලේ කරන ඒවා බවට පත්වී තිබෙනවා පමණක් නොව මඟ යනෙන අයට හිරිහැරයක් බවට ද පත් වී තිබේ. ඒ බීම සහ ආහාරවල ප්‍රමිතිය පිළිබඳව ද ගැටලු ඇතිවී තිබේ. එසේම දීර්ඝ කාලයක් තිස්සේ දිවයිනේ ස්ථාන කිහිපයක විධිමත් ව හා සෞඛ්‍යාරක්ෂිත ව පවත්වා ගෙන යනු ලබන දන්සැල් ද ඇති බව කිව යුතුය.

කරන්නන් වාලේ කරන දන්සැල්වලට කරන විශාල මුදලින් නිවාස අහිමි දුප්පත් පවුලකට නිවාසයක් ඉදිකරගැනීම සඳහා උදව් කළ හැකිය; පොත්පත් අහිමි දරුවන්ට පොත්පත් ලබා දිය හැකිය. අනුන්ට උපකාර කිරීම බොදු සිරිතයි. වෙසක් උළෙල ඒ සඳහා මහඟු අවස්ථාවකි. ඒ වටිනා මොහොත බාල ජනප්‍රිය වැඩ වෙනුවෙන් නාස්ති කිරීම නොහොබී. දානය, ශීලය, ආත්ම පරිත්‍යාගය බුදුනුවන් අනුගමනය කළ යුතු මඟයි.

එහෙත් ජනප්‍රිය බුද්ධාගමේ විසිතුරු අංගවලින් බුදු දහමේ හරය යටපත් වෙමින් පවතින සමයක වෙසක් උළෙල ජෝගි නටන්නන්ගේ සැණකෙළියක් බවට පත්වෙමින් තිබෙනු පෙනේ.බෞද්ධ උගතුන්ගේ විචාරවත් මැදිහත් වීම එහිදී අවශ්‍යවේ. ඒ මැදිහත් වීම වෙසක් උ‍ලෙළ නිසා අපමණ මිහිරක් විඳින පෘතග්ජනයන්ගේ හද මනස පාරන්නක්ද නොවිය යුතුය.

මාතෘකා

 
 
 
රටේ අපරාධ රැල්ල අඩු කිරීමට කළ යුත්තේ ?