පන්සල් දේශපාලනයේ අඬවැඩියාව

පන්සල් දේශපාලනයේ අඬවැඩියාව

පන්සල්වලටත් නීති දාන්න යනවා අපේ හාමුදුරුවනේ" පන්සල් දේශපාලනයෙහි නියැළෙන සක්විත්තන්ගේ අලුත්ම අඬවැඩියාව වී ඇත්තේ එයයි. බුද්ධශාසන අමාත්‍යංශය පාර්ලිමේන්තු ගිණුම් කාරක සභාවේ යෝජනාවක් අනුව පන්සල් වර්ගීකරණය කරන්නට යෑම මේ කලබලයට මුල් වී ඇත. අඬන්න හිටි එකාගේ ඇහැට ඇඟිල්ලෙන් ඇන්නා සේ පන්සල් ගානේ ගොස් රට ගිනි තබන මුසා නව වටයකින් ඇද බෑම පරාජිත රෙජීමයේ උපක්‍රමය වී තිබේ. මෙරට දැනට ඇතැයි සැලකෙන බෞද්ධ සිද්ධස්ථාන 13021 අතරින් සැලකිය යුතු සංඛ්‍යාවක් පවත්වාගෙන යනු ලබන්නේ බොහෝ අසීරුතා මැද්දේය. වැසිකිළි කැසිකිළි පහසුකම් පවා නොමැති දානය ද නිසි පරිදි නොලැබෙන විහාරස්ථාන ද ඇති බව අමාත්‍යාංශයේ නිරීක්ෂණ අනුව හෙළි වේ. ගම්බද ඇතැම් භික්ෂුන්ට තම ගෝල හිමිවරුන්ගේ කුසගිනි නිවීම සඳහා හේන් කෙටීමට සිදුවී ඇති බවට අනාවරණය වී තිබේ. ඒ අතරතුර සුඛෝපභෝගී වාහන සහ සුවිසල් මන්දිර ද, අලි ඇතුන්ද සහිත මහ පන්සල් විශාල ප්‍රමාණයක් පවතී.   
ගිහි සමාජයෙහි ද දක්නට නොලැබෙන තරමේ බරපතළ සම්පත් විෂමතාවක් පන්සල්වල දිස් වේ. තියන තැනටම ගොඩගැසීමේ පිළිවෙත අනුව විවිධ පරිත්‍යාගද ඒ ප‍න්සල්වලට අඛණ්ඩව ලැබේ. මේවා පිළිබඳ විගණනයක්ද නැත. ඒ අතර දුෂ්කර පළාත්වල ඇතැම් පන්සල්වල අධ්‍යාපන පහසුකම් ද අහිමි සාමනේරවරු සිටිති. මහ පන්සල් කිසි විටෙක කුඩා පන්සල් රැක ගැනීම සඳහා කිසිවක් නොකරමින් ධනයම ගොඩ ගසති. මච්ඡරී සූත්‍රයෙහි ඇති පරිදි අනුන් තළා පෙළා සෝක නංවා අදමිටු ලෙස ධනය උපයන්නෝ මහ පන්සල් තම කිළිටි සෝදා ගැනීමට භාවිත කරති. විවේක සූත්‍රයෙහි ඇති පරිදි පක්ෂියකු මෙන් කෙළෙස් දූවිලි තටුගසා ඉවත් කිරීම වෙනුවට දේපල රැස් කිරීමෙන් සතුටු වන භික්ෂුහු බහුල වෙති. මෙබඳු පරිසරයක ශ්‍රමණ පිළිවෙත් රකිමින් ශාස්ත්‍ර‍ ගවේෂණයට කැපවන තරුණ භික්ෂූන් මුහුණ දෙන්නේ බලගතු අභියෝගයකටය. උන්වහන්සේලාට ඇති විකල්පය සිවුරු හැර යෑමය. නැති නම් වැල යන පැත්තට මැස්ස ගසනා සේ තමන් ද පිරිහීමය. මෙය කණගාටුදායක තත්ත්වයකි. 
 සසුන අතහැර යන ප්‍රමාණයට සසුන් ගත නොවීම නිසා භික්ෂූ සංස්ථාව පසුවන්නේ එක්තරා බියකිනි. අන්‍ය ලබ්ධිකයන් කෙරෙහි වෛරය මුදාහැරීම එහි එක් ප්‍රතිපලයකි."ගොනකුගේ මවිල් තරමට මහන කළත් අඟක් පමණක් ඉතුරු වේ" යනුවෙන් යක්කඩුවේ ප්‍රඥාරාම හිමියන් කළ ප්‍රකාශය එදාට වඩා වලංගු වන්නේ අදටය. අද ඇති ගැටලු එදාට ද වඩා සංකීර්ණය. සංගායනා දහයකින්වත් විසඳීමට අසීරුය. 
කරුණු මෙසේ හෙයින් සංකීර්ණ ප්‍රශ්නයක් නිරාකරණය කිරීම සඳහා මුල් පියවර තැබීමට ආණ්ඩුව ගත් තීන්දුව සම්බන්ධයෙන් බෞද්ධයන් සතුටු විය යුතුය. එනිසා පන්සල් දේශපාලනයෙන් යැපෙන අවස්ථාවාදීන් බෞද්ධයන් කුපිත කිරීම සඳහා මෙය අවස්ථාවක් කර ගැනීම පිළිකුලෙන් යුතුව හෙළා දැකිය යුතුය. 
හිටපු ජනාධිපතිවරයාගේ පාලන සමයෙහි ගොකරැල්ල ප්‍රදේශයෙහි පන්සලකින් අතුරුදන් වූ කිරිගරුඬ පිළිමයක් අරලියගහ මන්දිරයෙන් මතු විය. දැනට සිරගතව සිටින පොලිස් ලොක්කකු වන වාස් තිලකරත්න,ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් සමඟ ජනපතිවරයා 
ඒ පිළිමය නරඹන ඡායාරුපයක් ප්‍රසිද්ධියට පත් විය. පසුව අනාවරණය වූයේ පිළිමයට අනුහස් ඇතැයි යන මිථ්‍යා විශ්වාසය නිසා අධිකරණ සංඝනායක භික්ෂුවකගේ ද සහාය ඇතිව පොලිස් ලොක්කාගේ ආරක්ෂාව යටතේ කප්පම් කල්ලියක් මගින් ලබාගත් පිළිමය අරලියගහ මන්දිරයට ප්‍රාදුර්භූතවී ඇති බවය. පන්සල මෙවැනි පහත් ක්‍රියා සඳහා යොදාගත් පුද්ගලයන් පන්සල් වර්ගීකරණය ඔස්සේ විෂමතා දුරු කිරීමේ පිළිවෙතට එරෙහි වීම හාස්‍යජනකය. පිළිකුල් සහගතය.

මාතෘකා