යුක්තියේ දෙවොල ගිනි ගැනීම

යුක්තියේ දෙවොල ගිනි ගැනීම

තරුණ නීතිඥවරියක වන සුගන්ධිකා ප්‍රනාන්දු ලංකාවේ අධිකරණයෙහි පරිහානිය පිළිබඳ ක‍ළ උද්වේගකර කතාව ගිනි ගන්නාසුලු මාතෘකාවක් බවට පත්ව තිබේ. ඊට හේතුව අධිකරණ ක්‍රියාදාමය සම්බන්ධයෙන් කෙතරම් ගැටලු පැවතුණත් ඒවා විවෘත ව සාකච්ඡා කිරීම අනුචිතය යනුවෙන් මතයක් සමාජගත ව පැවැතීමයි. 
එ් චින්තනයට අනුව අධිකරණය ශුද්ධ වූ ස්ථානයකි. එය ප්‍රශ්න කිරීමකින් තොරව ගෞරවයෙන් පිළිගත යුතුය. "නඩුකාර හාමුදුරුවෝ" මැයෙන් විනිසුරුවරයා ඇමතීම ජන සමාජයේ ලක්ෂණයක් බවට පත් වීමෙන් ම එය පෙනේ. අනෙක් අතට ප්‍රජාතන්ත්‍රවාදී පාලනය පිළිගන්නා නූතන ලෝකයෙහි විධායකය, ව්‍යස්ථාදායකය සහ අධිකරණය යන ආයතන තුන සංවරණ හා තුලන මූලධර්ම අනුව ක්‍රියාත්මක වීම නිරෝගී සමාජ පැවැත්මක් සඳහා අනිවාර්ය වේ. 
විධායකය ඒකාධිපතිත්වයට ගිය විට අධිකරණය රබර් මුද්‍රාවක් බවට පත් වේ. පිරිහිණු අධිකරණයක් ඇති විට ව්‍යවස්ථාදායකය හා විධායකය සමාජ ඉදිරිගමන වෙනුවෙන් තබන පියවර ආපස්සට යයි. බොහෝ විට සිදු වන්නේ මේ ආයතන තුන ම සමාන්තර ගමනක යෑම ය. නීතිඥ සුගන්ධිකාගේ කතාවෙන් නිශ්චිත සාධක සහිත ව අධිකරණයෙහි නිලමක්කාරයන්ගේ දූෂිත පිළිවෙත් අනාවරණය කර ඇත. උසාවියෙහි පහළ ම සේවකයාගේ පටන් නීතිපති දෙපාර්තමේන්තුව දක්වා චෝදනා දිගු වෙයි. එමෙන්ම පොලිස් දෙපාර්තමේන්තුව අධිකරණ ක්‍රියාවලියෙහිදී හැසිරෙන ආකාරය ඇය අභීතව පෙන්වා දෙයි. තරුණ නීතිඥවරියක හැටියට මේ දූෂිත පිළිවෙතට එරෙහි ව කටයුතු කරන්නට යෑමේදී ඇති වූ ගැටලු නිසා විදෙස්ගත වූ ආකාරය ඇය පැහැදිලි කරයි. ඇගේ අනාවරණය නීතිඥ වෘත්තිකයකු වෙතින් අධිකරණයට එල්ල වූ දරුණු ම කාල බෝම්බය ලෙස සැලකිය හැකිය.   
මීට දශකයකට පමණ පෙර තම බිරිය විනිසුරු බලය යොදා තානායමකට රැගෙන ගොස් කෙළෙසීමට එරෙහිව, රන් බඩු තනන්නකු මහව උසාවියේදී නඩුකාරයාට අසූචි පාර්සලයකින් පහර දීමෙන් මුළු උසාවිය ම අසූචිවලින් නැහැවිණ. ලෙනින් රත්නායක නම් වූ එ් විනිසුරාට එරෙහි ව මෙබඳු චෝදනා රැසක් එල්ල විය. රාවය කර්තෘවරයා ව සිටි වික්ටර් අයිවන් එ් විනිසුරා සහ ඔහුට ආරක්ෂාව දුන් හිටපු අගවිනිසුරු සරත් සිල්වාගේ දූෂිත පිළිවෙත දිගින් දිගට ම අනාවර‍ණය කිරීමේ ප්‍රතිඵල ලෙස අධිකරණ කොමිසම පරීක්ෂණයක් පැවැත්වීය. ලෙනින් රත්නායක සේවයෙන් පහකරන ලද්දේ ඔහු වැරදිකරු වූ හෙයිනි. එහෙත් අද වන තුරු අධිකරණය ඔහුට දඬුවම් දී නොමැති අතර අගතියට පත් පාර්ශ්ව වෙනුවෙන් යුක්තිය ඉෂ්ට කර නොමැත.
පසුගිය කාලයෙහි ශ්‍රී ලංකාවේ අධිකරණයෙහි ඇති වූ පරිහානිය ජාත්‍යන්තර වශයෙන් මෙරට අපකීර්තියට පත් වීමට ද බලපෑවේ ය.ඇතැම් විනිසුරන් කූඨ ගනුදෙනුවලට සම්බන්ධ වී ඇති ආකාරය සිද්ධි ගණනාවකින් අනාවරණය විය. ඇතැම් සිදුවීම් අනුව පෙනී යන්නේ නීතිඥයා, විනිසුරුවරයා, පොලිස් නිලධාරියා සහ දේශපාලකයා එක ම ගනුදෙනුවක කොටස්කරුවන් වී ඇති ආකාරයයි. 
යහපාලන ආණ්ඩුව ගොඩනැඟීමට දායක වූ සමාජ තීරුවල එක් අරමුණක් වූයේ සාධාරණ අධිකරණයකි. 19වැනි සංශෝධයෙන් ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම ඔස්සේ අධිකරණ සේවා කොමිසමට සාමාජිකයන් පත් කිරීම සඳහා ජනාධිපතිට තිබූ බලය ඉවත් කෙරිණ. එමෙන් ම ඡන්දයෙන් පැරදුණ ජනාධිපතිටත් බලයේ ඉන්නට ලණු දෙන තක්කඩියකු වෙනුවට කීර්තිමත් විනිසුරුවරයකුට අගවිනිසුරු පදවිය හිමි ව තිබේ. එහෙත් ඔළු ගෙඩි දෙක තුනක් වෙනස් කිරීමෙන් පමණක් අධිකරණයෙහි පූර්ණ වෙනසක් අපේක්ෂා කළ නොහැකිය. නීතිපති දෙපාර්තමේන්තුව, අධිකරණ සේවා කොමිසම කටයුතු කරන ආකාරය සේවාලාභීන්ගේ තෘප්තියට හේතු වී නැත.
අධිකරණ ක්‍රියාදාමය මහජනයාට පීඩාකාරී අයුරින් ක්‍රියාත්මක වීම වැළැක්විය යුතුය. එමෙන්ම සමාජයේ ඉදිරි ගමනට මුල් වන ඇතැම් කටයුතු ප්‍රමාද වීම කෙරෙහි අධිකරණයෙහි සාම්ප්‍රදායික ක්‍රියාකාරිත්වය බාධාවක්ව තිබේ. විදෙස් ආයෝජන ප්‍රමාදය කෙරෙහි වාණිජ අධිකරණයෙහි මන්දගාමිත්වය බලපා තිබීම එක් නිදසුනක් පමණි. එනිසා සුගන්ධිකා ප්‍රනාන්දු නීතිඥවරියගේ ප්‍රකාශයෙන් හෙළිදරව් වන කරුණු ද සැලකිල්ලට ගනිමින් අධිකරණ ප්‍රතිසංස්කරණයකට වහා මුල පිරීම රජයේ වගකීමයි. 

මාතෘකා

 
 
 
රටේ අපරාධ රැල්ල අඩු කිරීමට කළ යුත්තේ ?