මලල ක්‍රීඩාවේ‍ පසුබැස්ම

මලල ක්‍රීඩාවේ‍ පසුබැස්ම

ඔලිම්පික් තරගාවලිය දක්වා වැටී ඇති ප්‍රවේශ මාර්ගයේ අත්දැකීම් එක්කාසු කරගැනීමේදී හමුවන හොඳම තරගාවලිය ලෙස අපට දැක්විය හැක්කේ පොදු රාජ්‍ය මණ්ඩලයීය තරගාවලියය.  
මලල ක්‍රීඩාව සැලකෙන්නේ ක්‍රීඩා ඉසව්වන්ගේ මාතෘ ක්‍රීඩාව වශයෙනි. සියලු ක්‍රීඩාව අතර වර්ණිත ක්‍රීඩාව සේ එය සැලකීමට ලක්වීම මීට හේතුවය. පැනීම, විසිකිරීම, දිවීම ආදී විවිධ ඉසව්වන්ගෙන් සජ්ජිත මලල ක්‍රීඩාව සම්බන්ධයෙන් පොදුරාජ්‍ය මණ්ඩලයීය ඉතිහාසයේ ශ්‍රී ලංකාවට හිමිවන්නේ එතරම් සතුටුදායක ස්ථානයක් නොවේ. 1950 වසරේ ඩන්කන් වයිට් රන් පදක්කමක් දිනාගත්තාට පසුව රිදී පදක්කමක් දිනාගැනීමට ශ්‍රියානි කුලවංශ සමත්වන්නේ 1998 වසරේදීය. එම වසරේදී ක්වාලාලම්පූර් නුවරදී සුගත් තිලකරත්න මීටර් 400 ලෝකඩ පදක්කමක්ද දිනාගනිමින් පොදු රාජ්‍ය මණ්ඩලයීය තරගාවලියේ ශ්‍රී ලංකා නාමය දිදුලවන්නට සමත්වන්නේය. එහෙත් ඉන් පසු කිසිදු පදක්කමක් මලල ක්‍රීඩා ඉසව්ව අරභයා දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත්වන්නේ නැත.  
 1997 වසරේ ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේදී රිදී පදක්කම් දිනාගත්, 1998 වසරේදී  පොදු රාජ්‍ය මණ්ඩලයේදී පදක්කම් දිනාගන්නටත් 2000 වසර වනවිට ඔලිම්පික් පදක්කමකට හිමිකම් කියන්නටත් සමත්වූ ශ්‍රී ලංකාව 2007 වසරේදී ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියක ලෝකඩ පදක්කමකට හිමිකම් කියන්නටත් සමත්විණි. එය එසේ වූයේ නම් ජානමය කාරණා මූලික කර නොගත් ලෝකය දිනාගත හැකි ක්‍රීඩකයන් බිහිකිරීමේ හැකියාව ශ්‍රී ලංකාව සතුවන බව අපට අවබෝධ කරගත හැකිවන්නේ අවස්ථා ගණනාවක් ලෝකය දිනාගැනීම යනු අහම්බකාරක සිද්ධීන් ලෙස සැලකිය නොහැකි හෙයිනි. 
පෙරකී අවස්ථා විෂයේ පෙර සූදානම ඉතා ප්‍රබල මට්ටමකින් පවත්වාගෙන යන්නට මෙරට ක්‍රීඩා බලධාරීහු කටයුතු කළහ. ක්‍රීඩාව වෙනුවෙන් දේශපාලනය යටිතලය නිමැවීමට සූදානම් කළා මිස ක්‍රීඩාව පාලනය සඳහා දේශපාලනය භාවිත කළේ නැත. මෙහිදී අපට මෑත කාලීනව මතකයට එන්නේ එස්.බී. දිසානායක ක්‍රීඩා ඇමැතිවරයාගේ පාලන කාලයය. දශක තුනකට ආසන්න මෙරට ක්‍රීඩා අතීතයේ සාර්ථකම ක්‍රීඩා ඇමැතිවරයා ඔහුය. ඔහු එය පෞද්ගලිකව ලබාගත් ජයග්‍රහණයක් පමණක් නොවේ. ඔහුට එම ජයග්‍රහණය හිමිකරදීමට සාර්ථක නිලධාරී යාන්ත්‍රණයක් තිබුණේය. එස්.බී. ඇමැති ළඟ සම්බන්ධීකරණ ලේකම් වශයෙන් මලල ක්‍රීඩා සංගමයේ ප්‍රධානියාවූ සුනිල් ගුණවර්ධන සිටියේය. මලල ක්‍රීඩාවට එවකට සාර්ථක නිලධාරීන් කීපදෙනෙකු සිටියේ දුටුගැමුණු රජුගේ දස මහා යෝධයන් සිහිපත් කරවමිනි. සුනිල් වටා පවුරක් වූ ඔවුන් පැරී ලියනගේ, පාලිත ප්‍රනාන්දු, එන්.ඒ.ටී. ජයසිංහ, එස්.එම්.ජී. බණ්ඩාර, ඩර්වින් පෙරේරා, යෝගානන්ද විජේසුන්දර වැන්නවුන් ඒ අතරින් කීපදෙනෙකි. සෙසු නිලධාරීහුද විවිධ භූමිකා රග දක්වමින් මලල ක්‍රීඩා විෂයේ නිෂ්පාදනාගාරය තුළ නව නිර්මාණ සිදුකළහ.  
සෙසු ක්‍රීඩාවන් සම්බන්ධයෙන්ද එය එසේම විය. දැන් ඇත්තේ ශූර පරිපාලකයන්ගේ පැරණි හුරුවට වැඩකරන්නවුන්ය. මේ පතාකයන් පිටුපසින් යටිතලයේ දෙවැනි පිරිසක් රෝපණයවී නොමැති තරම්ය. එහෙයින් ක්‍රීඩාව දකුණු  ආසියාවෙන්  ඔබ්බට  ගමන්  කිරීම අසීරුකරවා තිබේ. ආසියාව, පොදුරාජ්‍ය මණ්ඩලය හා ඔලිම්පික් යනු පිටසක්වළ තරණය කරන්නාක් බඳු අභියෝගයක්ය. හිටපු ක්‍රීඩා ඇමැති දයාසිරිට ජාත්‍යන්තරය දිනන්නට අසීරුවන්නේ ඔහු වටා වැඩිමනක් සිටියේ වන්දිභට්ටයන්, බොරු පූචානම්කාරයන් හා වැඩ බැරි සංචාරක දාසයන් පමණක් වීමය. බොරු ෂෝ කාරයෙකු නොව යථාවාදියකු මෙම තනතුරු බාරගත යුතුව ඇතැයි අපි කියන්නේ එහෙයිනි. පණ්ඩිතයාට ඒදණ්ඩේ යා නොහැකිය. ක්‍රීඩාව ගැන දන්නවායැයි කීවාට බොරු කාරයන් සමඟ ක්‍රීඩා ඇමැතිවරයකුට යා හැකි දුරද සීමා සහිතය. එහෙයින් මෙවර පොදු රාජ්‍ය මණ්ඩලයීය තරගාවලියෙන් අවබෝධ කරගත යුතු දෙයක් ඇත. ඒ ජයග්‍රහණය සමීපවන තුරු නොසිට ජයග්‍රහණය සොයා යායුතු බවය. එය සිදුකළ හැක්කේ දක්ෂයින් සොයා බලමුළු ගන්වා පුහුණුකිරීමෙනි. ආසියාව, පොදු රාජ්‍ය මණ්ඩලය, ලෝකය දිනන්නට අපට හැකිවන්නේ එවිට බව පමණක් මෙම සිදුවීමෙන් තේරුම්ගත යුතුව ඇත්තේ එහෙයිනි. එසේ නොවන්නේ නම් අපට කිව හැක්කේ දකුණු ආසියාවෙන් ඔබ්බෙහි දේශීය ක්‍රීඩාව මියගොස් ඇති බව පමණි.

මාතෘකා