උසාවි සංදර්ශන

උසාවි සංදර්ශන

හිටපු ඇමතිවරයකු වන මහින්දානන්ද අලුත්ගමගේ රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීම ජනමාධ්‍යයට උණුසුම් මාතෘකාවක් සැපයීය. ඇතැම් රූපවාහිනී නාළිකා මහා අපරාධයක් සිදු වී ඇතැයි හැඟෙන ආකාරයෙන් විවිධ දේශපාලකයන්ගේ ප්‍රකාශ ප්‍රවෘත්ති විකාශය ඔස්සේ රටට ම ඉදිරිපත් කළේය. ඔවුන්ගේ අදහස වූයේ මේ පරීක්ෂණ දේශපාලන පලිගැනීම්වල ප්‍රතිපලයක් බවය.  
හාස්‍යජනක කරුණ වන්නේ මෙසේ චෝදනා නඟන්නන් ද විවිධ චෝදනා සම්බන්ධයෙන් නුදුරේදී ම උසාවි සංචාරයට නියමිත වී සිටීමය. උසාවි භූමියෙහිදීම මෙසේ අධිකරණ කටයුතු විවේචනය කිරීම නීතියට එකඟ ද යන්න නීති විශාරදයන්ගේ අවධානයට ලක් විය යුතුය. අනෙක් අතට මේ වනාහී දේශපාලන සදාචාරය පිළිබඳ ගැටලුවකි.  
අධිකරණ ක්‍රියාදාමය අවසන් වන තුරු කිසිවකු වැරදිකරු හෝ නිවැරදිකරු කිරීමේ හැකියාවක් නොමැත. පැමිණිලි පාර්ශ්වයට මෙන්ම විත්ති පාර්ශ්වයට ද නීතිඥ සහය ලැබෙයි. තමා නිදොස් නම් අධිකරණයේදී නිදහස් වීමේ හැකියාව චුදිතයාට තිබේ. එබඳු තත්ත්වයකදී තමා පීඩාවට පත් කිරීම සම්බන්ධයෙන් අධිකරණයේ පිහිට පැතීමේ ප්‍රතිපාදන ද පවතී. එසේ වුවද අධිකරණ ක්‍රියාවලිය ප්‍රසිද්ධියේ විවේචනය කරන පුද්ගලයෝ හා ඊට උඩ ගෙඩි දෙන ඊනියා නාළිකා එම සත්‍යය අමතක කරති.  
ජනමාධ්‍ය මෙහිදී කළ යුත්තේ වාර්තාකරණයේ මූලධර්ම මත පිහිටා කටයුතු කිරීම මිස අධිකරණයට පාඩම් ඉගැන්වීම නොවේ. චුදිතයන් උසාවියට පැමිණීම සහ බන්ධනාගාර රථයෙන් ගමන් කිරීම වීරත්වයෙන් පෙන්වීමද ජනමාධ්‍යයේ පුරුද්දක් බවට පත්ව ඇත.  
මෙහි තවත් පැත්තක් තිබේ. එනම් ඉදිරිපත් ව ඇති චෝදනාවල නිරවද්‍යතාව හා සහේතුක බව පිළිබඳ වචනයක්වත් කතා නොකිරීමට විවේචකයන් පරිස්සම් වීමය. මහිදානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාට ඇති චෝදනාව උදාහරණ වශයෙන් ගනිමු. ක්‍රීඩා අමාත්‍යාංශයට කැරම් සහ දාම් පුවරු මිලදී ගැනීම මගින් රජයට රුපියල් ලක්ෂ 390 ක පාඩුවක් සිදු කර ඇති බව ඔහුට ඇති චෝදනාවයි. මෙසේ මිල දී ගත් කැරම් පුවරු 14000 සහ දාම් පුවරු 14000 ක්‍රීඩා අමාත්‍යාංශයේ ගබඩාවලට ලැබී නැත. ජනාධිපතිවරණයේදී ඒ පුවරු ජනාධිපතිධුර අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රචාරක කටයුතු සඳහා යොදාගෙන ඇති බව තහවුරු කරගෙන තිබේ. ජනාධිපති අපපේක්ෂකයාගේ සහ පුත්‍රයාගේ ඡායාරූප සහිත බිත්ති ඔරලෝසු ලක්ෂයක් ද සොයා ගෙන තිබිණ.  
මේ සියල්ල මැදමුලන බූදලයෙන් ගත් ඒවා නොව මහජන දේපළ වංචා කිරීමෙන් ලබාගත් ඒවා ය. අධිකරණ ක්‍රියාමාර්ගය දේශපාලන පලිගැනීමක් ලෙස චෝදනා කරන හිටපු ජනාධිපති පුත්‍රයා ද ඒ භාණ්ඩ බෙදීම නොකළ බවක් නොකියයි. හරි නම් කළ යුත්තේ චෝදනා අසත්‍ය බවට සාධක සහිතව පෙන්වා දීම ය. එසේ නොකර දේශපාලන පලිගැනීමක් බවට චෝදනා කිරීම මගින් අන්‍යාලාපයෙන් සනාථ කරන්නේ මැතිවරණ අල්ලස් ලබා දීම ඔවුන් පිළිගත් දේශපාලනය බවද?
රෙජීමයේ පාලන සමයෙහි අගවිනිසුරුවරිය ගෙදර යැවීම සහ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගැනීම නම් දේශපාලන පලිගැනීම් බව කුඩා දරුවකුට වුව ද වැටහිණ. හිටපු ඇමති බැසිල් රාජපක්ෂ විසින් ඉදිරිපත් කරන ලද දිවි නැගුම පනත පළාත් සභා මගින් අනුමත කළ යුතු බවට හා සංශෝධනය කළ යුතු බවට අගවිනිසුරු ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීම රෙජීමයේ උදහසට හේතු විය. තම විරුද්ධවාදියා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ සරත් ෆොන්සේකාගේ වාග් ප්‍රහාරය රෙජීමයේ වෛරයට හේතු විය. මේ දෙදෙනාටම නොකළ වැරදිවලට දඬුවම් විඳීමට සිදු වූයේ නීතියේ පාලනය වෙනුවට අර්ධ වැඩවසම්, අර්ධ පැසිස්ට් පාලනයක ක්‍රෑරත්වය හේතුවෙනි. දිවි නැගුම පනතට එරෙහිව දුන් අධිකරණ තීන්දුව නිසා අගවිනිසුරුවරිය ගෙදර යැවූ රෙජීමය දිවිනැගුම අරමුදලේ තිබූ දුගී ජනතාවගේ තැන්පතු මුදල් මිලියන ගණනක් කොල්ල කා ඇති අයුරු පසුව අනාවරණය විය.ඒ පිළිබඳ පරීක්ෂණය ඉදිරියේදී පැවැත්වීමට නියමිතය. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට! 

මාතෘකා