අනූෂා සමඟ ක්‍රීඩාව දිනවමු | ඇස පාදන රැස


අනූෂා සමඟ ක්‍රීඩාව දිනවමු

අනූෂා සමඟ ක්‍රීඩාව දිනවමු

අනූෂා කොඩිතුවක්කු මෙරටින් බිහි කළ විශිෂ්ඨතම බොක්සිං ක්‍රීඩිකාව බවට පත්වීමට හෝරා කිහිපයකට පෙරාතුව මේ සටහන තබමු.
මෙයට වසර 80කට පෙර 1938දී නිව්සවුත් වේල්ස් හී පැවැති බ්‍රිතාන්‍ය රාජධානි ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව බොක්සිං රන් පදක්කමක් දිනූ අතර, පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් අතර ක්‍රීඩා උළෙලකදී අවසන් වරට ලෝකඩ පදක්කමක් දිනා ඇත්තේ 1950දී ඔක්ලන්ඩ් හී පැවැති ක්‍රීඩා උළෙලකදීය. ඒ ජයග්‍රහණ ලද්දේ, ඇලෙක්ස් ඔබේසේකර ක්‍රීඩකයාය. මෑතකදී, එනම් 2010 දිල්ලි ක්‍රීඩා උළෙලේ මංජු වන්නිආරච්චි රන් පදක්කමක් දිනා ගත්තේය. එහෙත් ඊට තහනම් උත්තේජක චෝදනා එල්ල වී ජයග්‍රහණය අවලංගු විය.
21 වෙනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී කාන්තා බොක්සිං ඉසව්වකදී ශ්‍රී ලංකාවට තවත් පදක්කමක් තහවුරු කිරීමට අනූෂා කොඩිතුවක්කු සමත් වූවාය.
අනූෂා අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේ
කිලෝ ග්‍රෑම් 48 බර පන්තියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරගයට සහභාගි වෙමින් කේමන් දූපත් නියෝජනය කළ බාන් බ්‍රැන්ඩි ක්‍රීඩිකාව පරාජය කරමිනි. අනූෂාගේ ප්‍රහාරවලින් බ්‍රැණ්ඩි දෙවතාවක්ම ඇද වැටුනාය. තාක්ෂණික වශයෙන් ජයග්‍රහණය අනූෂා වෙත පිරිනැමීමට විනිශ්චයකරුවෝ තීරණය කළහ. ඒ අනුව අනූෂා සිටින්නේ ශක්තිමත් මානසිකත්වයකිනි.
අනූෂා ජාත්‍යන්තර තරඟාවලිවලට සහභාගි වී හසල අත්දැකීම් ලබා ඇති ක්‍රීඩිකාවකි.  අනූෂාගේ සුවිශේෂීම ජයග්‍රහණය බවට පත්වූයේ 2012 වසරේ දී ටියුනීසියාවේ පැවති ජාත්‍යන්තර බොක්සිං ශූරතාවලියේ දී ෆ්ලයිවේට් (කිලෝග්‍රෑම් 48ට අඩු) බර පන්තියේ රන් පදක්කම දිනා ගැනීමයි.
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ඉතිහාසයේ ශ්‍රී ලංකාව බොක්සිං ක්‍රීඩාවෙන් හිමිකර ගන්නා පළමු පදක්කම ලෙස මෙය වාර්තා වේ.
ඒ අනුව දැනටමත් අනූෂා ශ්‍රීලාංකේය බොක්ෂින් ක්‍රීඩාව තුළ අද්විතීය වී හමාරය.
එහෙත් කතාව ආරම්භ වන්නේ මෙතැන් සිටය.
අනූෂා අවසන් පූර්ව වටයේදී අත්වැසුම් පළඳින්නේ ඉන්දියාවේ වෘත්තීය බොක්සිං ක්‍රීඩිකාවක් වන මේරි කොම්ට එරෙහිවය. මේරි කොම් අවස්ථා කීපයකදීම ලෝක බොක්සිං ශූරතාවට හිමිකම් කියන්නියකි. ඇයගේ ජීවිත කතාව අලලා මේරි කොම් නමින් බොලිවුඩ් චිත්‍රපටයක් ද නිර්මාණය වී තිබේ. ඇය පිළිබඳව වටහා ගන්නට එයම ප්‍රමාණවත්ය.
එහෙත්,
2016 වසරේ ඉන්දියාවේ පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී  අනූෂා-මේරි කොම් මුහුණට මුහුණ හමුවිණි. උද්වේගකර තරඟයේ තීරණාත්මක අවස්ථාවේදී පවා අනූෂා දක්ෂ ලෙස ක්‍රීඩා කළාය. ඇයගේ මුෂ්ඨි ප්‍රහාර හේතුවෙන් ලෝක ශූරී මේරි කොම් කිහිප වතාවක් අඩපණ වූවාය. එහෙත් අවස්ථාව ලද සැනින් මේරි කොම් බොක්සිං  වළල්ල තුලදී අනූෂාගේ පාදයකට 'දරුණු'ප්‍රහාරයක් එල්ල කොට ලෝක ශූරියකට තරම් නොවන 'නොහොබිනාකමක්' කළාය.
 ක්‍රීඩාව හා විනය යනු ගසට පොත්ත මෙන් බැඳී පවතින අංග දෙකකි. ක්‍රීඩාවේ ඇති නීති රීති උල්ලංඝනය නොකිරීමට නම් ක්‍රීඩකයා තුළ මනාව වර්ධනය කර ගත් විනයක් තිබිය යුතුමය. ලෝකයම විජයග්‍රහණය කලද එකී විනය නොමැති තැන පලක් නැත.
ක්‍රීඩාව යනු නීතිරීති හෝ ව්‍යවහාරයන් මාලාවන් විසින් පාලනය කරනු ලැබෙන හා බොහෝ විට තරගකාරී ලෙස නිරත වන ක්‍රියාකාරකමය. ක්‍රීඩා ලෙස සාමාන්‍යයෙන් හඳුන්වන්නේ තරගකරුගේ කායික ශක්‍යතාවයන් අවසාන ප්‍රතිඵලයේ  එකම සහ මූලික නිර්ණය සාධකය වන ක්‍රියාකාරකම්ය. එහෙත් ලෝක ශූරිය එකී ධර්මතාවය බිඳ දැමුවාය.
ප්‍රතිවාදිනියගේ අසාධාරණ තරඟ රටාවෙන් දැඩි කම්පනයකට පත් වුවද, අනූෂා නොසැලුනාය.
තමාගේ ඉලක්කය සපුරා ගැනීම සඳහා දුක්, කම්කටොලු, බාධක මැඩ ගනිමින් ඉදිරියටම ගමන් කළ යුතු බව ඈ වටහාගෙන සිටියාය. ක්‍රිඩාව සඳහා කැපවන ප්‍රමාණය අනුව ප්‍රතිඵල ලබාගත හැකිය.
ඈ අධිෂ්ඨානය තුළින් ශක්තිමත්ව සිටියාය. 2016 වසරේ විනය කඩා දමා තරග කළ ප්‍රතිවාදිනිය අනූෂාට නැවත හෙට හමුවෙයි.
'අපි සියලු දෙනාම දිව යන්නේ වෘත්තයක් වටේ'යි  කියනා කියමන නැවත සනාථ වන සිදුවීමකි එය.

මාතෘකා