අවුරුදු කුමාරයා අනතුරින් බේරාගනිමු

අවුරුදු කුමාරයා අනතුරින් බේරාගනිමු

නව සතිය ඇරඹී ඇත්තේ නැවුම් බලාපොරොත්තු මැදය. ඒ අලුත් අවුරුද්ද නිසාය. කුමන වාතාවරණයක කුමන වටපිටාවක වුවද අප්‍රේල් මස දෙවැනි සතිය ආරම්භ වන විට ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිතවලවලට නැවුම් හැඟීම් ඇතුළුවීම සිදුවන්නේ නිරායාසයෙනි. මේ නැවුම් බලාපොරොත්තු සහ හැඟීම් ක්ෂණයකින් වියැකී යෑමට තුඩු දෙන සිදුවීම් අවුරුදු සමයේ ක්‍රමයෙන් වැඩි වීම සෑම වසරකම අප අත්දකින කාරණයක් බවට පත්ව ඇත.

පසුගිය සෙනසුරාදා හංවැල්ල ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවක පිරිසක් හුලු ගඟේ දිය නෑම සඳහා පිටත් වී තිබුණේ අවුරුදු නිවාඩුවත් සමඟ ලැබෙන ඉස්පාසුව විනෝදයෙන් සහ සැහැල්ලුවෙන් විඳ ගැනීමට විය යුතුය. හුළු ගඟේ අතු ගංගාවක් වන දළුක් ඔයට බසින විට එය කිහිප දෙනෙකුගේම පවුල්වල අවුරුදු සතුට සුණු විසුනු කරනු ඇති බවට කිසිවෙකු නොසිතුවා විය හැකිය. අනපේක්ෂිතව ජල මට්ටම වැඩිවීමත් සමඟ ගංදියට ජීවිත බිලි දුන් පස් දෙනාටත් අවුරුදු කුමාරයාගේ සම්ප්‍රාප්තිය ගැන තිබූ සියලු බලාපොරොත්තු ජීවිතයත් සමඟ බිලි දීමට සිදු විය.

මේ අවුරුදු සමයේ අපට වාර්තා වූ වැඩිම ජීවිත හානි සිදු වීම මෙය වුවත්, මෑත ඉතිහාසයේ අවුරුදු සමය තුළ සිදු වූ හදිසි අනතුරුවලින් අපට අහිමි වූ ජීවිත ගණන දෙස බලන විට මෙය අවසානය නොවේ යන්න පැහැදිලිය.
විශේෂයෙන් මේ කාලයෙහි අනතුරුවලට හේතු වන ප්‍රධාන කාරණා කීපයක් හඳුනාගත හැක. නිවාඩුව තුළ නිසි සොයා බැලීමකින් තොරව සිදුකරන චාරිකාවලදී සිදුවන අනතුරුවලට අමතරව ගිනිකෙළි භාවිතයේදී සිදුවන අනතුරු, බීමත්ව රිය පැදවීමේදි සිදුවන රිය අනතුරු සහ බීමත්ව සිදු කරගන්නා කළකෝළාහල හේතුවෙන් සිදුවන තුවාලවීම් සහ ජීවිත හානි මෙලෙස ප්‍රධාන තැනක් ගනී.

2015 හා 2016 අවුරුදුවල පමණක් අලුත් අවුරුදු සමය තුළ සිදු වූ හදිසි අනතුරු සැලකීමේදී මේ තත්වය පැහැදිලි කර ගත හැක. 2015 දී අලුත් අවුරුදු දිනට පෙර දින සිට පසු දින දක්වා දින තුනක කාලය තුළ පමණක් අනතුරු 1021ක්ද 2016දී අනතුරු 938ක්ද ලෙස වාර්තා වී ඇත. එමෙන්ම 2015 දී නේවාසිකව ප්‍රතිකාර ගත් ප්‍රමාණය 435ක්ද 2016 දී 430ක්ද බවටද වාර්තා වී තිබිණ. පසුගිය වසර තුන තුළ ලංකාවේ සියලුම පළාත්වලින් දරුණු අනතුරු හේතුවෙන් කොළඹ ජාතික රෝහලට මාරුකර එවූ පිරිස 370කට අධිකය.

මුල්කාලීනව අවුරුදු කාලයේ සිදුවන බහුලතම අනතුරු කාණ්ඩයකට රතිඤ්ඤා අනතුරු අයත්විය. රතිඤ්ඤා නිසා සුළු තුවාල වීම්, මහා පරිමාණයේ තුවාල වීම් හා ජීවිත හානි පවා සිදුවූ අවස්ථා ඇත. මෙම අනතුරු බොහෝ තැන්වල සිදුවන්නේ අතේ තබාගෙන රතිඤ්ඤා දැල්වීම, රතිඤ්ඤා පෙට්ටියක් එකවර දැල්වීම, බීමත්ව සිටියදී රතිඤ්ඤා පත්තු කිරීම ආදිය නිසාය. එක් අවුරුදු සමයක ඇවිළුණු රතිඤ්ඤා කිහිපයක් බස් රථයට විසිකර දැමීම නිසා එම බසයේ රැඳී වුන් යුවතියක අසල එය පිපිරී යුවතියගේ දෑසෙහි පෙනීමද අහිමි විය. එසේම උස ස්ථානවලින් රතිඤ්ඤා, අහස් කූරු ආදිය විසිකිරීම නිසාද අනතුරු සිදුවේ.  

නොවිමසිලිමත්කම, අධික වේගය, මානසික ආතතිය, අධික වෙහෙස, නිදිමත ආදී නොයෙක් හේතු නිසා මහමඟ අනතුරු සිදුවීමේ හැකියාව මේ කාලය තුළ වැඩිවන අතර, රිය අනතුරු අඩුකර ගැනීමට නම් මේ සියලු දේ ගැනම අවධානය යොමුකළ යුතු වේ. මෙහිදී රියදුරා පමණක් නොව පදිකයා තුළද මහමඟ භාවිතාව පිළිබඳව හොඳ අවබෝධයක් සහ නිවැරදි සිහියක් තිබෙනවා නම් පමණක් මහමඟ අනතුරු අවම කිරීමේ හැකියාව ලැබේ.

අලුත් අවුරුද්ද යනු වෙනදාටත් වැඩියෙන් සතුටු විය යුතු වඩාත් සුව සේ ගත කළ යුතු කාලයකි. මුළු අවුරුද්ද පුරාම හරි හම්බ කළ දේ එක දවසින් වැය කර කා බී නටා නැති ලෙඩ රෝග කරදර අනතුරු ළඟා කරගත යුතු කාලයක් බවට එය පත් කර නොගත යුතුය . එම නිසා අලුත් අවුරුද්ද නැවුම් වූ අරුත්බර කාලයක් බවට පත් කරගන්නට සිතාගෙන කටයුතු කිරීම අවුරුද්දෙහි සැබෑම අරුත විය යුතුය. වැඩ ඇල්ලීම, ගනුදෙනු සහ කිරි ඉතිරවීම මේ වසරේ දුක්ඛාන්තයක් බවට පත් නොකර ගැනීමේ වගකීම පැවරෙන්නේ අපටමය.

මාතෘකා