ආණ්ඩුවේ ඉදිරි වසර දෙක

ආණ්ඩුවේ ඉදිරි වසර දෙක

විශ්වාසභංග යෝජනාව නම් භංග වී අවසානය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ ඉදිරිපත් වූ 46වන විශ්වාසභංග යෝජනාව තුළින් ගම්‍ය වූ කාරණය වූයේ 8වෙනි පාර්ලිමේන්තුවේ විශ්වාසය දිනාගත් නායකයා තවමත් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා බවයි. නමුත් මෙම සිදුවීම් ජාලය ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයට නව පාඩම් කිහිපයක් එක් කිරීමට සමත් වූ බව පැහැදිලිය. එමෙන්ම විශ්වාසභංගය ගැන වාර්තා කර තිබුණු බොහෝ විදෙස් මාධ්‍ය සඳහන් කර තිබුණු ආකාරයට, මෙම යෝජනාව රජය තුළ මෙන්ම පොදුවේ දේශපාලන කරළිය තුළද ඇති කළ තිගැස්ම සුළුවෙන් තැකිය නොහැක.

රජය මේ වනවිට ළමා, නව යොවුන් යුග පසුකරමින් මැදිවියට පැමිණ ඇත. වසර තුනක ඇවෑමෙන් ප්‍රජාතන්ත්‍රවාදය සහ විශේෂයෙන්ම නීතියේ ස්වාධීනත්වය උදෙසා මේ රජය කළ ගෙදර වැඩ කොටස පැසසිය යුතුය. නමුත් මේ රජය බලයට පත් කිරීමට දායක වූ මෙන්ම ගාමක බලවේගය බවට පත්වූ උගත් මධ්‍යම පාන්තික ප්‍රජාව, සිවිල් සංවිධාන, වෘත්තීයවේදීන් සහ දේශපාලන බලපෑම් කළ කණ්ඩායම්වල බලාපොරොත්තු ඒ ප්‍රමාණයට ඉටු කිරීමට රජය අපොහොසත් වී ඇත.

මේ තත්ත්වය පිළිබඳ ඉඟියක් පළ කිරීම සඳහා පසුගිය පළාත් පාලන මැතිවරණය යොදා ගැනීමට බහුතර ඡන්ද දායකයා තිරණය කළා විය යුතුය. එය තමන් ලද ජනවරමක් ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියවා ගැනීම ඔවුන්ට සිදු වූ වැරදීමක් බව දැන් පැහැදිලිය. විශ්වාසභංග යෝජනාවට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංස්කරණ වෙනුවෙන් දැඩි සටනක් කළ පිරිස තීරණය කිරීම මෙහිලා වැදගත් සංධිස්ථානයක් ලෙස සැළකිය යුතුය. එමෙන්ම රාජපක්ෂ පිලේ දූෂිතයන් හා එක්වීම ප්‍රතික්ෂේප කරමින් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකීමට කටයුතු කළ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂික මන්ත්‍රීවරුන්ගේ තීරණයද ඉතා වැදගත්ය.

විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටි පිරිස්ද, 2015 ඇරඹී නව දේශපාලන මාවතේ ගමනාන්තය වඩා සුභ වෙතැයි බලාපොරොත්තු දල්වා සිටි පිරිසද මෙම විශ්වාසභංග යෝජනාව පරාජයට පත් කිරීමේ නියම ජයග්‍රාහකයන්ය.

අපේක්ෂාවන් ඒ අයුරින් ඉටු කිරීමට රජයට නොහැකි වූවායැ‍යි හඬ නැගූ සැබෑ ප්‍රගතිශීලි පිරිස් මේ විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමේ අවශ්‍යතාවය දිගින් දිගටම පැහැදිලි කළේ යළි දුර්දාන්ත පාලනයේ කඨෝර වූ අත්දැකීම් විඳ ගැනීමට අකමැති නිසා මිස රජය කෙරෙහි හදිසියේ ඇති වූ ප්‍රේමයක් නිසා නොවන බව රජය දැන් තේරුම් ගැනීම අතවශ්‍යය.

මේ රජයට තව ඉතිරිව ඇත්තේ වසර දෙකක කාලයකි. සහයෝගීතා ආණ්ඩුවේ එක් පාර්ශ්වයක් තුළ අගමැතිවරයා කෙරෙහි ඇති විශ්වාසය පිළිබඳ පැහැදිලි බෙදීමක් ඇති වී තිබේ. රජය තුළ හිඳිමින්ම සමහර ඇමතිවරු, තමන්ට එල්ල වී ඇති දූෂණ චෝදන ගැන බිඳකුදු බිය නොවී රජයට චෝදනා කරන අයුරු විශ්වාසභංග විවාදයේදී පෙනෙන්නට තිබිණි. මේ වාතාවරණයක් තුළත් ඉදිරි වසර දෙක තුළ සාර්ථක වීම සඳහා පෙර කිසිම රජයක් නොගිය වේගයකින් ඉදිරියට ගමන් කිරීමට වර්තමාන රජයට සිදු වී තිබේ. අනෙක් පසින් ආවේගශීලී එජාප තරුණ කණ්ඩායම්වල අදහස්වලටත් යම් ඉඩක් දීමට එක්සත් ජාතික පක්ෂ නායකත්වය කටයුතු නොකළහොත් ආණ්ඩුවේ පැවැත්මේ ඉදිරි අර්බුදවලදී ඔවුන්ගේ සහය නොලැබීමේ ඉඩක්ද පවතී.

මේ උදා වී ඇත්තේ අසිරූ අවස්ථාවක් බවට නිර්වචනය කිරීමට අප එකඟ නැත. මේ සැබැවින්ම මහඟු අවස්ථාවකි. ස්වර්ණමය අභියෝගයකි. නීතියේ ක්‍රියාත්මකභාවය කාර්යක්ෂම කිරීමෙන් සහ සැබෑ හොරු නීත්‍යානුකූලව හෙළි කිරීමෙන්ද, බන්ධනාගාර රෝහල වෙනුවට දඬුවම් සඳහා සැබෑවමට බන්ධනාගාරය භාවිත කිරීමෙන්ද, ලක්ෂ 62ක් ඉක්මවා ගිය ජන පදනමක් ගොඩ නැගීමට අවස්ථාව විවර කිරීමකි. කකුල් මාට්ටු කරුවන් හඳුනා ගැනීමටද ලද අපූරු අවස්ථාවකි.

මෙය රාජපක්ෂ පාලනයේ අමිහිරි මතකයට එරෙහිව ලබාදෙන අවසාන අවස්ථාවක් ලෙස සලකමින් කටයුතු කිරීමට තරම් කාර්‍යක්ෂමභාවයක්, සැබෑ කැපවීමක් සහ අවංකභාවයක් සහිතව ඉදිරියට යාමට අවශ්‍යය. ඒ සඳහා සූදානම් නැති පිරිස් අත්හැරීමට තරම් සෘජු වීමට අවශ්‍යය. එවන් දිශාවක් තුළ මේ රටේ මිනිසුන්ගේ හදවතින් නැඟෙන සුබ පැතුම් තුළින් මේ ආණ්ඩුව වෙනුවෙන් 2020 වෙනුවෙන් අධිවේගී මඟක් තැනීම වැලැක්වීමට පිටසක්වලින් ආවත් බැරිය.

මාතෘකා