පිනෝෂේලාගෙන් ප්‍රවේසම් වෙමු

පිනෝෂේලාගෙන් ප්‍රවේසම් වෙමු

ශ්‍රී ලංකා දේශපාලනයේ අත්දැකීම් බහුලම දේශපාලඥයකු වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව විශ්වාසභංග යෝජනාව ඡන්ද විමසීමකට ලක් වන්නේ අදය. පවතින රජයට එරෙහිව මහජනතාවගෙන් චෝදනා එල්ල වීම අසාමාන්‍ය තත්වයක් නොවේ. එය නිදහසින් පසු බිහි වූ සෑම රජයකට එරෙහිවම පැවතිණි. රජයක සාමූහික ප්‍රයත්නයක් තුළ සිදු වන අඩුපාඩු, වැරදිවලට විසඳුම් සාමූහිකත්වය ආරක්ෂා කිරීමකි. එහෙත් සිදුව ඇත්තේ වෙනකකි. දැන් 2015 ජනවාරි 8 වෙනිදා සිදු කළ නිහඬ විප්ලවය වෙනුවෙන් සමහර පාක්ෂිකයන්ගේ විරෝධයද නොතකමින් තම ජනාධිපතිධුර අපේක්ෂකත්වය පවා කැප කළ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා තනිවම දංගෙඩියට ගෙනයන තත්වයක් නිර්මාණය කරමින් ඇත. එදා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විවේචනය කරමින්, එජාප නායකයා ජනාධිපතිධුර අපේක්ෂකත්වය ප්‍රතික්ෂේප කිරීම පවා හෙළා දුටු සමහරු මේ මොහොත වන විට අග්‍රාමාත්‍යවරයාට එරෙහිව වීරයන් වීමට උත්සාහ දරති.  
රජය හෝ අගමැතිවරයා විවේචනය කිරීමේ අයිතියට අප ගරු කළ යුතුය. ඒ පිළිබඳ විවාදයක්  නැත. එහෙත් එදා එවැනි විවේචන නිදහසක් කාට හෝ තිබුණේද? එදා ජනාධිපතිවරයා නොව ඔහුගේ බිරියගේ දුර ඈත ඥාතියකු විවේචනය කිරීම මාධ්‍යයට තහනම් විය. මැති, ඇමැතිවරුනට එය කොහොමටවත් කළ නොහැකි විය. එසේ කළේ නම් එය කරන්නාගේ ජීවිත පවා අහිමි වන තත්වයක් තිබිණි.
ජනවාරි 8 වෙනිදා පෙළගැසුණු පිරිස සතුව තිබූ අපේක්ෂාවන්ගෙන් ඉටු නොවූ බලාපොරොත්තු බොහොමයකි. පසුගිය දුර්දාන්ත ඒකාධිපති පාලනය තුළ කළ කී බොහෝ දෑ වෙනත් මුහුණුවරකින් මේ පාලන කාලය තුළද සිදු වූ අවස්ථා නැතුවා නොවේ. එහෙත් ඒ සියල්ලටම වඩා වර්තමාන පාලනය තුළ ක්‍රමයෙන් නීතියේ ස්වාධීනත්වය ආරක්ෂා විය. රජයේ ප්‍රබල අමාත්‍යවරුන්ට එරෙහිවද නීතිය සමානව ක්‍රියාත්මක විය. රජය, අග්‍රාමාත්‍යවරයා සහ ජනපතිවරයා විවේචනය කරන මාධ්‍යවේදීන්ට සුදු වෑන්වල චාරිකා යෑමට අවස්ථාව හිමි වූයේ නැත. උපාලි තෙන්නකෝන්ලාට මෙන් ගුටි පුජා ලැබුණේ නැත. ලසන්ත වික්‍රමසිංහට මෙන් ‘බෝල්ට් ගන්’ සත්කාර ලැබුණේ නැත.
අද වන විට රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට ඉල්ලා අස්වන ලෙස බලපෑම් කරන විශ්වාසභංගය ප්‍රවර්ධනය කරන කිසිවෙකු මේ අභියෝග කරන්නේ වර්තමාන රජයට මිස රනිල් වික්‍රමසිංහට නොවන බව පිළිගැනීමට මැලි වීම හාස්‍යයට කරුණකි. තම නොහැකියාව, අසමත්කම අගමැතිවරයා පිටින් යවා ඔවුන් මේ ඉල්ලා සිටින්නේ එදා පැරදූ දුර්දාන්ත පාලනය යළිත් තම නිවසේ දොරකඩට ගෙන්වා ගැනීමටදැයි අපි විමසා සිටිමු. එදා යහපාලනය උදෙසා මැවූ සිහිනය සුනුවිසුනු කිරීමේ අප්‍රියජනක සිහිනයට පණ පෙවීමට තරම් ඔවුන්ගේ සිහිය විකල් වී ඇත්දැයි අපි ප්‍රශ්න කර සිටිමු.  
1970 වසරේදී චිලී රාජ්‍යයේ ජනතාවගේ සාමුහිකත්වයෙන් ගොඩනැඟුණු පොදු මහජන පෙරමුණකින් සැල්වදෝර් අයියන්දේ ජනාධිපතිවරණයට නම් කළ අවස්ථාවේ බටහිරින් එල්ල වූයේ තදබල බලපෑමකි. ඒ චිලී රාජ්‍යයට ඔවුන් ඇලුම් කළ නිසා නොවේ. චිලීයේ ඔවුන්ගේ බලපෑමට නතුවන පාලනයක් ඇති කිරීමේ අවශ්‍යතාව නිසාය. එහෙත් සැල්වදෝර් අයියන්දේගේ ජය වැළැක්වීමට කිසිවෙකුට නොහැකි විය. ඔහු ක්‍රමයෙන් ජනහිතකාමී වැඩපිළිවෙළක් වෙනුවෙන් චීලියේ රජය සූදානම් කළේය. රාජ්‍යය ශක්තිමක් කිරීමට බොහෝ කැප කිරීම් කළේය. චිලී රාජ්‍යයේ තඹ ආකරවල බලය ගිලිහීම නිසා දැඩි කෝපයෙන් සිටි ඇමෙරිකාවටවත් සැල්වදෝර් අයියන්දේ බලයෙන් පහ කිරීමට නොහැකි විය. ඇමෙරිකානු මෙහෙයවීමෙන් රටේ ගො‍ඩනැගුණු විරෝධතා හමුවේ රට වෙනුවෙන් තම හිතෛෂියකු යැයි අයියන්දේ විශ්වාස කළ ඔගස්ටේ ෆිනෝෂේට හමුදාව භාරදීමට අයියන්දේ කටයුතු කළේය. එහෙත් 1973 සැප්තැම්බර් 11 දින හිරු උදා වුයේ අයියන්දේ දැඩිව විශ්වාස කළ ඔගස්ටෝ  පිනෝෂේගේ නායකත්වයෙන් යුත් ඇමෙරිකානු අතකොළු සැල්වදෝර් අයියන්දේගේ ජනපති කාර්යාලය වට කිරීමෙනි. අවසානය සටහන් වූයේ සැල්වදෝර් අයියන්දේ තම ගිනි අවියෙන් දිවි තොර කර ගැනීමෙනි.   
හෙට නව හිරු උදා වෙද්දී, ඔගස්ටේ පිනොෂේලා බිහි නොවේවා යැයි අපි ප්‍රාර්ථනා කරමු. චිලීය පරදවන කළු පැල්ලමක් අප ශ්‍රී ලංකා නාමය ඉදිරියේ සනිටුවහන් වේවා යැයි අපි ප්‍රාර්ථනා කරමු. දෙඇස් නින්දෙන් අවදි කරවන්නැයි එදා යහපත් වෙනසක් වෙනුවෙන් පෙළගැසුණු සැමට අපි ආරාධනා කරමු.

මාතෘකා