කැණිමඬල කුඩු කොට ගේ කඩා දමනවාද?

කැණිමඬල කුඩු කොට ගේ කඩා දමනවාද?

2004 පෙබරවාරි මාසයේ සිට දිග්ගැසුණු අර්බුදය ඒ වසරේම මාර්තු වන විට උච්ඡස්ථානයට පැමිණ තිබිණි. එක්සත් ජාතික පෙරමුණ සහ චන්ද්‍රිකා කුමාරණතුංග ජනාධිපතිවරිය අතර වූ සම්මුතිවාදී ආණ්ඩුව හමාර වූයේ හරියටම 2004 අප්‍රේල් දෙවැනිදාය. අප්‍රේල් තුන්වෙනිදා නිකුත් වූ ප්‍රතිඵල ප්‍රකාරව නව ආණ්ඩුවක් බිහි විය.   
චන්ද්‍රිකා ජනාධිපතිවරියගේ ධුර කාලය හමාර වීමෙන් පසු මහින්ද රාජපක්ෂ යුගය එළැඹි අතර එය හුදෙක්ම 'ස්ථාවර'පදනමක් රහිත 'බල ව්‍යාපෘතිය' පමණක් ඉලක්ක කරගත් පාලනයක් විය. දශකයකට වැඩි කලක් 'තරමක හොඳත්' අප්‍රමාණ නරකත් අතර ඒ ආණ්ඩුව යටතේ රට පාලනය විය.   
එකී කාල සමය සිහි නුවණින් යුතුව නැවත සිහිපත් කරන්නේ නම්, උතුරු නැගෙනහිර යුද්ධය තීරණාත්මකව පරාජය කිරීම හැරුණු කොට සමාජ ප්‍රජාතන්ත්‍රවාදය අරභයා හෝ ණය බරින් තොර ස්වාධීන රටක් ගොඩනැඟීම සඳහා වන ප්‍රශස්ත වෑයමක් හෝ ගත්තේ නැත. ඒ වෙනුවට සිග්නල් කණු වැනි අමාත්‍ය මණ්ඩලයකුත්, වහලුන් වැනි මානව කලාපයකුත් 'රාජපක්ෂ' ආණ්ඩුව විසින් නිර්මාණය කරනු ලැබීය.   
පෙරදිග ලෝකයේ ස්ථීරසාරව 'සංවර්ධනය වෙමින්' පවතින රටකට දොරගුළු හරිනවා වෙනුවට, ජාතියක ඉරණම එක්තරා පවුලක 'සිහින' සමග ගැට ගසන තැනට පත් කරනු ලැබීය. ගෝත්‍රික රාජ්‍යයන්ගේ නායකයින් යන එන 'සෙල්ලම් දූපතක්' බවට ශ්‍රී ලංකාව පත් විය. සමාජ සම්මුතීන් අමු අමුවේ උල්ලංඝනය කරන, මානව නිදහස 'සුනාමියක'වේගයෙන් සෝදා හරින, රටක් නිර්මාණය විය. බුලත් විටක් කා කෙළ ගසන මිනිසාට පවා දඩ ගසන රටක් නිර්මාණය විය. ආලවට්ටම් සහිත අරුමෝසම් වචනවලින් 'සරසා' ඒකාධිපති වියරුව සූක්ෂ්ම ලෙස ව්‍යාප්ත කරනු ලැබීය.   
ඉකුත් ජනාධිපතිවරණය මෙරට තීරණාත්මක මැතිවරණයක් වූයේ උද්දච්ඡ ආණ්ඩුවක ගමන හමාර කළ මැතිවරණය නිසාය. අඟලින් අඟල කටවුට්, පෝස්ටර්, බිල්බෝඩ්වලින් විසිහතර පැයේම ජනතාවට සිනාසෙමින්, සිටි පාලකයාගේ 'දූපත් පන්නයේ' පාලනය නිමා විය. 'ගින්න නිවනු පිනිස' මන්ද මාරුතය' තෝරා දුන්නේ සොබාදහමය. වියරු පාලනය, මෛත්‍රීගේ සරල ප්‍රවේශයෙන් දෙදරුම් කා ගියේය. 2015 ජනවාරි 8 මෙරට ‍ඓතිහාසික 'ඉතිහාස පිටුවක්' හිමිකරගන්නේ ඒ නිසාය.   
යහපාලන සංකල්පය වචනාර්ථය ඉක්මවා ගිය එකකි. ලොව වටා සිටින, 10,000ක නියැදි මත පදනම්ව, 'යහපාලන දර්ශකය' සකස්‌ වේ. එහි පුරුෂාර්ථයන් සාර්ථකව ක්‍රියාත්මක කළහොත් ලොව දිදුලන රටක් නිර්මාණය කළ හැකිය. 'යහපාලනය, නිසි පරිදි හා සාර්ථකව' අනුගමනය කරන රටවල් සංවර්ධිත රටවල් ලෙස, ප්‍රමුඛස්‌ථානයට පත්ව තිබේ. නෝර්වේ, ස්‌වීඩනය, පින්ලන්තය, ඩෙන්මාර්කය ආදී ලෝකයේ රටවල් 200 කට වැඩි ගණනක්‌ මෙය අනුගමනය කරන අතර 2011 වසර වන විට ලංකාව හිමිකරගෙන සිටියේ 'යහපාලන' ප්‍රස්ථාරයේ 130ය.   
එවැනි තත්ත්වයක සිටින රටකට'යහපාලනය'ගෝචර කිරීම කොතරම් දුෂ්කරදැයි සිතා ගත හැකිය.  
ඉකුත් මහ මැතිවරණයේදී තනිව ආසන 106ක් ලද එක්සත් ජාතික පක්ෂය තනිව ආණ්ඩුවක් පිහිටුවමුයැයි ඇතැමුන් පවසද්දී රනිල් වික්‍රමසිංහ මහතා 'පක්ෂය' ගැන නොසිතා 'ආණ්ඩුව' ගැන සිතුවේය. ඔහු තනිව ආණ්ඩු හදනු වෙනුවට කළේ පොරොන්දු ප්‍රකාරව 'ජාතික ආණ්ඩුව'ගොඩනඟන කටයුත්තය. ඊට පෙර මැතිවරණවලදී 'පොදු අපේක්ෂකයාට' අප්‍රමාණ අවලාද නැගූවන් බුරුතු පිටින් ඒ ආණ්ඩුවට එක්කාසු වූහ.   
'යහපාලනයේ' සාරාර්ථයන්, අපේක්ෂාවන්, පරමාර්ථයන් පිළිබඳ ලවක් දෙවක් නැති ඒකී පිරිස් සත්‍ය වශයෙන්ම දැන සිටියේ 'රාජපක්ෂ බල ව්‍යාපෘතිය' පමණි.  
කරළියට පැමිණ තිබෙන්නේ එවැනි අවස්ථාවකි. අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංගය ගෙන එන ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම දෙස බැලූවිට දිස් වන්නේ විකෘතියක තරමය. දහසක් 'තක්කඩිකම්' කළ පිරිසක් ඒ සියල්ල පසෙක තියාගෙන ඊට අලගු තබන්නටවත් බැරි සීමාවක සිටින්නෙකුට එරෙහිව අවි ඔසවා චෝදනා නගති.   
විශ්වාසභංගයෙන් ඔබ්බට මහින්ද පිලේ ඊළඟ ඉලක්කය ජනාධිපතිවරයා නොදන්නවා වන්නට බැරිය. අගමැතිට එරෙහිව ගෙනෙන විශ්වාසභංගයේ ඊළඟ ඉලක්කය 'දෝෂාභියෝගය' බවට සැක නැත. ඒ නිසා මේ මොහොතේ විශ්වාසභංගයට මුහුණදෙන ආකාරය සමස්ත ආණ්ඩුවට අතිශයින් වැදගත්ය.      
හෙට දිනයේ බොහෝ දේ සිදුවනු ඇත. නොඑසේ නම් එතරම් දෙයක් සිදු නොවනු ඇත. ඒ කෙසේ වුව කැණිමඬල කුඩුකොට ගේ කඩා දමනවාද?, ගෙතුළ සිට ප්‍රශ්න විසඳා ගන්නවාද? යන්න මහජන නියෝජිතයින් තෝරා ගත යුතුය. 

 

මාතෘකා