බදු පනත ගැන හුඹස් බිය

බදු පනත ගැන හුඹස් බිය

ශ්‍රී ලංකාව ප්‍රජාත්‍රාන්තික සමාජවාදී ජනරජයකි. න්‍යායික වශයෙන් සමානාත්මතාව සහ සුබසාධනය මූලික කොටගත් රාජ්‍යයකි. නමුත් ඉතිහාසය පුරා රජයට නැඟෙන ප්‍රධාන චෝදනාව එම මූලධර්මවලට පටහැනිව කටයුතු කිරීමයි. මෙවන් පසුබිමක ඊයේ (01 දා) සිට ක්‍රියාත්මක වන 2017 අංක 24 දරන නව දේශීය ආදායම් පනත පිළිබඳව කතාබහක් සමාජය තුළ නිර්මාණය වී ඇත. නව දේශීය ආදායම් පනත අනුව ක්ෂේත්‍ර රැසක බදු ප්‍රතිපත්තිවල වෙනස්කම් සිදුවී තිබේ. මීට පෙර වාර්ෂික වැටුප රුපියල් ලක්ෂ 7.5ට වැඩි සියලු දෙනාට උපයන විට ගෙවන බද්ද පැනවී තිබිණ. එනම් මාසිකව රුපියල් 62,500කට වඩා වැටුපක් ගෙවන සැමටම එම බද්දට යටත් වීමට සිදු විය. නමුත් ඊයේ සිට එම සීමාව වාර්ෂිකව රුපියල් ලක්ෂ 12 (මාසිකව රුපියල් ලක්ෂයක) සීමාවක් දක්වා ඉහළ දමා ඇත. මේ අනුව දැනට මාසිකව රුපියල් ලක්ෂයකට වඩා වැඩි වැටුපක් ලබන, සේවා නියුක්තිකයන්ගෙන් ඉතා කුඩා ප්‍රතිශතයකට පමණක් ඉදිරියේදී උපයන විට ගෙවන බද්ද ගෙවීමට සිදු වනු ඇත. මේ තුළින් දැනට එම බද්දට යටත් වන මැදි ආදායම්ලාභී පිරිස එම බද්දෙන් නිදහස් වේ.

බදු ක්‍රමය පිළිබඳ පැහැදිලි අදහසක් නොමැති පිරිස්, වැටුප රුපියල් ලක්ෂය ඉක්මවූ විට සමස්ත වැටුපටම බදු මුදල් ගෙවිය යුතු යැයි සාවද්‍ය අදහසක්ද පතුරවමින් ඇත. නමුත් සත්‍යය නම් බදු සඳහා ගණනය වන්නේ රුපියල් ලක්ෂය ඉක්මවූ මුදල පමණි. උදාහරණයක් ලෙස රුපියල් 150, 000ක මාසික වැටුපක් ලබන අයෙකු බදු ගෙවිය යුත්තේ රුපියල් 50, 000ක මුදලකට පමණි.

මෙම නව බදු ක්‍රමය ගැන සෘණාත්මක ආකල්ප පතුරවන පිරිස් ශ්‍රී ලංකාවේ බදු ගෙවීම් පැහැර හරින පිරිස ගැන කිසිවක් කතා කරන්නේ නැත. බදු ගෙවිය යුතු බොහෝ පිරිසක් අදටත් මහජන බදු මුදලින් නඩත්තු වන සේවාවන් පරිභෝජනය කරමින් පුරවැසි යුතුකම පැහැර හරින බව පැවසීමට ඔවුන්ගේ කටවත් ඇරෙන්නේ නැත. නව ක්‍රමය යටතේ වයස අවුරුදු 18ට වැඩි සියලු දෙනාටම බදු ලිපිගොනුවක් විවෘත වීම ඔවුන් නිෂේධනාත්මකව දකින්නේ මේ තත්වය හරිහැටි අවබෝධ නොකරගත් නිසාමදැයි අපට සැකයක් වේ. මෙය දශක ගණනාවක් පුරා අප මුහුණදුන් ගැටලුවක් බව රටේ බදු ක්‍රමය ගැන අබ ඇටයක් හෝ දන්නා සැවොම දන්නා කරුණකි. සැබැවින්ම මෙයින් සිදු වන්නේ බදු ගෙවිය යුතු ආදායම් සීමාවේ සිටින බදු පැහැර හරින්නන් බදු ක්‍රමයට නතු වීම හේතුවෙන් නිසි ලෙස බදු ගෙවන පුරවැසියන්ට වඩාත් සහනයක් ලැබීමේ ඉඩකඩ විවර වීමය.

නුසුදුසු ව්‍යාපාරවලට සහ පුද්ගලයන්ට බදු සහන ලබා දීම ඉතිහාසයේ පටන් මෙරට මුදල් අමාත්‍යවරුන්ට නිරතුරුව නැඟුණ චෝදනාවක් බව අතිශයෝක්තියක් නොවේ. නමුත් වර්තමාන මුදල් අමාත්‍යවරයා තම ධුරය සතු එම බලතල කප්පාදු කිරීමට කටයුතු කිරීම ප්‍රශංසනීයය. බදු සහන සහ බදු විරාම ලබා දීමේ අවස්ථා 200ක් අහෝසි කිරිමටද මෙම බදු ක්‍රමයෙන් කටයුතු කර තිබේ.

ලෝකයේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන දියුණු රටවල බදු ක්‍රමය හැදෑරීමේදී ඔවුන්ගේ සෘජු සහ වක්‍ර බදු අනුපාතිකය අපේ පැවති බදු ක්‍රමයේ එම අගයට වඩා හාත්පසින්ම වෙනස්ය. සාමාන්‍යයෙන් විය යුත්තේ රටේ සෘජු බදු ප්‍රතිශතය වක්‍ර බදු ප්‍රතිශතයට වඩා වැඩි අගයක් ගැනීම වුවද ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායමෙන් 80%ක් වක්‍ර බදු ලෙස සටහන් වෙද්දි සෘජු බදු අනුපාතිකය 20%ක් පමණ වේ. සරලවම පැවසුවහොත් එදිනෙදා අප වෙළෙඳපොළෙන් මිලදී ගන්නා සීනි, පරිප්පු වැනි පාරිභෝගික භාණ්ඩ සඳහා සියලුම ආදායම් මට්ටම්වල අයට ගෙවීමට සිදු වන්නේ එකම බදු මුදලක් වන අතර එය රටේ ප්‍රධාන බදු ආදායමද වේ. නව බදු ක්‍රමය යටතේ සෘජු සහ වක්‍ර බදු අනුපාතිකය 60:40ක් ලෙස වඩාත් ප්‍රගතිශීලි දිශාවකට යොමු කිරීමට අපේක්ෂා කෙරේ.

තවද තත්වය විකෘති කිරීමට උත්සාහ කරන ප්‍රතිගාමී පිරිස් උත්සාහ ගන්නේ මෙම නව ක්‍රමය යටතේ විදෙස්ගත ශ්‍රමිකයන් මෙරට තැන්පත් කරන මුදලට දැඩි බද්දක් පැනවෙන බව පෙන්වීමටය. නමුත් ඇත්ත වශයෙන්ම සිදු වන්නේ ඔවුන් තැන්පත් කරන මුදල මත බැංකුව ලබාදෙන පොලී මුදලින් 5%ක පමණ මුදලක් බද්දක් ලෙස අය කර ගැනීම පමණකි. උදාහරණයක් ලෙස රුපියල් ලක්ෂයක මුදලක් වාර්ෂිකව සියයට 6%ක පොලී මුදලක් ගෙවන බැංකුවක තැන්පත් කළ විට ඔවුන්ට වාර්ෂිකව ගෙවීමට සිදු වන්නේ රුපියල් 150ක් තරම් සුළු මුදලකි.

උදේ සවස සමානාත්මතාව, සාධාරණත්වය ගැන කතා කරන මෙරට දේශපාලනය ගැන උනන්දුවක් දක්වන ක්‍රියාකාරිකයන් සැබැවින්ම කළ යුතුව ඇත්තේ අඩු ආදායම්ලාභී, අඩු වත්කම් සහිත පුරවැසියන් මත පැටවී ඇති අධික බදු බර සැහැල්ලු කිරීමේ දිශාවට රට ගෙනයන මෙම බදු ක්‍රමය ගැන නිසි හැදෑරීමක් කිරීමයි.

මාතෘකා